Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද නම් වූ ඔහු.. | Graetian Ananda ….!

image

සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගායනයේ ජෝතිපාල සලකුණෙන් අනතුරුව මගේ මතයට අනුව ජනප්‍රියතම පසුබිම් ගායකයා ග්‍රේෂන් ආනන්ද අබේකෝන් මහතායි. ජෝතිපාල මහතා විජය කුමාරණතුංග ගේ රුවට හඬ මුසු කරද්දී ග්‍රේෂන් ආනන්ද මහතා සනත් ගුණතිලකයන්ට හා සෂී විජේන්ද්‍ර වැනි නළුවන්ගේ පසුබිම් ගීත ගැයීය. සරත් දසනායක මහතාගේ චිත්‍රපට වාද්‍ය වෘන්දයේ ගිටාර් වාදකයෙකු හා ආධුනික කීබෝඩ් වාදකයෙකු ලෙස හැත්තෑව දශකයේ මුළ ඇරඹි ග්‍රේෂන් ගේ කලා ජීවිතය අදින් අවාසනාවන්ත ලෙස අකාලයේ අවසන්වූ වග දැනගන්නට ලැබිණ.

ඈත දුරක දෑස පාවෙලා - නීලා වික්‍රමසිංහ සමග ගායනාකළ ගීතය ග්‍රේෂන් ආනන්දයන්ගේ පළමු ගීතයයි. සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග ගේ පටන් චන්න පෙරේරා හා රෝශාන් රණවක (හරිද මන්දා නම) දක්වා ග්‍රේෂන් තිරය පි‍ටුපස සිට සිය හඬින් නොමද දායකත්වයක් සැපයීය.

ග්‍රේෂන් ආනන්දගේ ජනප්‍රිය ගීත අතර,
හිම රේණු වැටෙනා - ආත්මා චිත්‍රපටය
තරු යායේ ඈතින් ඈතට - බයිසිකලේ චිත්‍රපටය
සිහින අහසේ වසන්තේ
බාලේ පුංචි කාලේ
ඉපදී ලොවේ
තිසරවිලේ - රෝස වසන්තේ චිත්‍රපටය
රැල්ලෙන් රැල්ල
සීතාදෝ - රජ වැඩකාරයෝ චිත්‍රපටය
ආදර සීනුව -ප්‍රමාද වැඩියි ටෙලිනාට්‍යයය
රනින් මාල
අම්මා - රජමැදුර චිත්‍රපටය
අපි කොයි කවුරුත් - අමල් බිසෝ චිත්‍රපටියෙන්
හිම කඳු යහනේ - සසර චේතනා චිත්‍රපටය
කැන්දන් යන්නම් රන් මල් මාලා - ඈතින් ඈතට චිත්‍රපටය
පළිඟු නදී - දේදුන්නේ සමනලියක් චිත්‍රපටය

ඇතුළු අටෝරාසියක් ගීත මතකයට නැගේ. මුදල් පසුපස හඹා නොගිය කලාකරුවකු වූ හෙතෙම කල් ගෙවූයේ කුලී ගෙයක බැව් මීට මාස කිහිපයකට කලින් පලවුන පුවත්පතක මුල්ලක පළවී තිබුණා මතක ඇත. නියම ඇගැයීමක් කිසි කලක ග්‍රේෂන් ට නොලැබුණු වග මාගේ හැඟීමයි. කෙසේවෙතත්.. ග්‍රේෂන්.. ඔබ සැබැවින්ම නියම ආදර්ශවත් කලාකරුවෙක්.. ඒ වගට ලංකාවේ සියළුදෙනා සාක්ෂි දරනවා නිසැකයි.

ඔබට නිවන් සැප...!!

Tuesday, December 28, 2010

සාජන්, හොරා සහ ගල් බෝතලය | Sergeant , Thief and Extra Special Arrack

image

කලින් කියපු වඳුරා රා බීපු කතාව කියාගෙන යද්දි මට තව කතාවක් මතක් වුණානෙ.  මේකත් ඉතින් බේබදු කතාවක්ම තමා. ඔන්න එක කාලෙක හෙන ස්මාට් හොරෙක් හිටියලු. මුගේ ට්‍රික් එක තමා ‍රැට ගමන් බිමන් යද්දි වෙස් වලාගෙන යන එක. එක දවසක් රෑ එකොලහට විතර මූ හාමුදුරු කෙනෙක් විදියට සිවුරකුත් දාගෙන වටපිට බල බල පාරෙ යනවලු බහින්න හොඳ ගෙයක් බල බල. මෙහෙම යද්දි පාරෙ නයිට් ඩියුටි හිටපු සාජන් මහත්තයෙක් ඉස්සරහට හම්බුනාලු. සාජන් මහත්තය මෙයාව දැක්ක ගමන් හිතුවලු මූ නං හාමුදුරු කෙනෙක් වෙන්න බෑ, හොරෙක් තමයි කියලා.

"හාමුදුරුවනේ ... බෑරක්ද? "

"මෙ මෙ.. බ බ බණකට යනවා උපාසක මහත්තයො මම"

"හහ්... හිතුවද මාව අන්දන්න.. රෑ එකොලහට මොන බණද? යමු පොලීසියට" කියල සාජන් මහත්තය හොරාව අල්ලගෙන  පොලිසියට යන්න පටන්ගත්තලු. දැන් දෙන්නත් එක්ක පයින්ම රෑ පොලිසියට යනවලු...

එතකොට හොරා මෙන්න මෙහෙම කිව්වලු...

"රාළහාමි.. මගේ ළඟ ගල් බෝතලයක් තියනව.. දෙන්නත් එක්ක ගහමුද මේ අයිනකට වෙලා"

"අඩෝ.. උඹ හිතුවද අරක්කු වීදුරුවකට ගන්න පුලුවන් කියල මේ මම.. හිතුව මදි... යමන් පොලිසි ...අද කූඩුවෙම තමයි.. අල්ලස් දෙන්නත් එනව මෙතන" කියල සාජන් මහත්තය සිංහනාද කළාලු.

මෙහෙම කෑ ගැහුවට මොකද ටික වෙලාවක් යද්දි සාජන් මහත්තයටත් වැඩේ අප්සට් ලු. ඇයි ඉතින් පින් ශොට් එකක් නෙ. මිනිහත් වැඩි කතාබහක් නැතුව කරබාගෙන හොරා අල්ලගෙන යනවලු.

"අරක්කු වීදුරුවකට ගන්න අපි...!!" සාජන් මහත්තය දුකෙන් ඒත් සිංහනාද පාරක් දැම්මලු.

හොරා දැනගත්තලු දැන් නං ඉතින් වැඩේ හරි තමයි. සාජන්ව බෝතලේට දාගන්න පුලුවන් කියල මෙහෙම ටෝකක් දුන්නලු.

"සාජන් මහත්තය.. සාක්කිත් නෑ නෙ. අපි වැඩේ අල්ලල දාමු.. මෙන්න මේක ඉවරකරලම යමු" කියල බෝතලේ අරගෙන සාජන්ගෙ අතට දුන්නලු.

බෝතලේ දැකපු සාජන් මහත්තයටත් නිකං අර මාලිංගට බැට් එක හම්බුනා වගේ චූන් එකක් ගියාලු. දෙන්නත් එක්ක ළඟ තිබ්බ බෝක්කුවක් ළඟට සෙට් වෙලා අනුමත වෙන්න පටන් ගත්තලු...

කලිනුත් කිව්වනේ හොරා ස්මාට් කියල. මිනිහ කළේ සාජන් මහත්තයට තුන්කාලක් විතර ම නවල දීල මිනිහ ශේප් එකේ තොල ගගා හිටපු එකලු. බෝතලේ ඉවර වෙද්දි සාජන් මහත්තය ෆුල් කට්. හොරත් ඉතින් බොරුවට කට් වගේ ඉන්නවලු.

විනාඩි පහක් ගියේ නෑ..සාජන් මහත්තය ගොරවන්න ගත්තලු. හොරා කළේ තමන් මෙච්චර වෙලා දාගෙන හිටපු සිවුර අරන් ඒක සාජන් මහත්තයට අන්දල, සාජන් මහත්තයගෙ පොලිස් ඇඳුම් ටිකත් අරන් මාරු වෙච්ච එක. මිනිහට රජ පල්ලමනේ. දැන් ඉතින් යුනිෆෝම් පිට හොරකමේ යන්න බැරිය. කොහොමද හොරාගෙ ටිකිරි මොළේ..

කතාව ඉවරයි වගේ වුණාට ඉවර නෑ. උදේ හතරට විතර සාජන් මහත්තයගෙ මූණට පිනි වැටෙද්දි මිනිහට ඇහැරුණාලු. ටිකක් වෙලා යද්දි මතක් වුණාලු රෑ වෙච්චි සිද්ධිය.

සාජන් මහත්තය වෙනසක් වගේ දැනිල ඇඟ පත අතගාල බැලුවලු. එතකොට අහුවුණාලු රෑ හොරා අන්දල ගිය සිවුර.. සාජන් මහත්තය….

"හොර සංගය නං මේ ඉන්නෙ.. මගෙන් පැනල යන්න හිතුව මදි උඹ.. ..හරි. …යමන්” කියල සිවුර හයියෙන් අල්ලගෙන කිව්වලු...

“අම්මට හුඩු..  කෝ යකෝ එතකොට මං? "

ප.ලි:
කතන්දර වැඩිවීම නිසා “බීපු කතා” නමින් අලුත් කැටගරියක් ඇතුලත් කිරීමට සිදුවිය..

Monday, December 27, 2010

වඳුරා රා බීපු කතාව | Monkey &The Toddy Pot



මත්පැන් ගැන කියනවනම් ඉතින් කතන්දර ගොඩක් තියනව කියන්න. මම මීට කලින් කීපයක් කියල තියනව. චූ කරපු කතන්දරේනුවරඑලියට ඇවිද්ද හැටි, වයින් කතා, කබර කතා ඒවායින් කීපයක්. ඉතින් ඔය කතාවල තියන සමානකම තමයි ඕව මිනිස්සුන්ට වෙච්ච කතා වීම. අද කියන්න යන කතාව වඳුරෙකුට වෙච්චි දෙයක්..මේව ඉතින් හොඳ ආදර්ශමත් කතන්දර..

ඔන්න දවසක් වඳුරෙක්ට රා මුට්ටියක් හම්බුනාලු. වඳුරා කොහොමත් විමර්ශණශීලී සතා වෙච්චි. මූ මේක පොඩ්ඩක් කරකව කරකව බැලුවලු මොකක්ද බොලේ මේක කියලා. ටිකකින් කඩවැස්ම පොඩ්ඩක් එහෙමෙහෙ කරල ඇඟිල්ල දාල රස බැලුවලු. නරකම නෑ. වඳුරා ඉතින් රා මුට්ටියම උස්සගෙන ගිහින් තමන්ගෙ ජොයින්ට් එකට වෙලා දෙකක් තුනක් දාගෙන පවනෙ වැනි වැනි ඉන්නවලු.

මෙහෙම ඉන්නකෝට මෙතනට ආවලු වඳුරගෙ පරණ යාලුවෙක්. ක‍ටුස්සා.. ඇවිත් ඇහුවලු..

"මොකද මේ නිකං අද එක විදියක්...?"

"නෑ මචං. පොඩි ඩ්‍රින්ක් එකක් හම්බුනා. මරු .. දාගෙන බලහං" කියල වඳුර උත්තර දුන්නලු.

ක‍ටුස්සත් ආයෙ හෙව්වෙ බැලුවෙ නෑ, ළඟ ළඟම තුන හතරක් නවාගත්තලු. මෙහෙම දෙන්නත් එක්ක අත්ත උඩට වෙලා පවනෙ වැනි වැනි ඉන්නකොට ක‍ටුස්සට හෙන තිබහක් ආවලු. ඌ වඳුරට ඒ බව කියල ගඟ ළඟට ගියාලු වතුර ටිකක් බොන්න. මේ වෙලාවෙ ඉවුර අයිනෙ ඉන්නවලු ගඟේ අයිතිකාරය. තඩි කිඹුලෙක්. සාමාන්‍යයෙන් නම් කිඹුල ළඟපාතක ඉන්නකොට කිසිම සතෙක් ගඟට යන්නෙ නෑ ලු වතුර බොන්න. ඒත් ඉතින් ක‍ටුස්ස දැන් ක‍ටුස්ස නෙවයි නෙ. සිංහය වගේ ගඟ ළඟට ගිහින් වතුර බොන්න ගත්තලු.

මේක දැකපු කිඹුලට මාර අප්සට් ලු. ඇයි ඉතින් ක‍ටුස්සා ඌව ගාණකටවත් ගත්තෙ නෑ නෙ. කිඹුල හිතාගත්තලු මොකද මේ කියල හොයාගන්නවමයි කියල.

"මොකද මේ නිකං අද එක විදියක්...?, වෙනදට මම මෙතන ඉන්නකොට උඹ කිට්‍ටුවෙන්නෙ වත් නෑ නෙ" කිඹුල ඇහුවලු ක‍ටුස්සගෙන්.

ක‍ටුස්ස කිව්වලු "අර වඳුර ළඟ නියම ඩ්‍රින්ක් එකක් තියනව... ඒක බිව්වම ආයෙ බය කියන එක පැත්ත පලාතෙ වත් එන්නෙ නෑ" කියල.

දැන් කිඹුල වඳුරා හොයාගෙන යනවලු මේ ඩ්‍රින්ක් එක ගැන අහන්න. වඳුරා ඈත තියාම දැක්කලු තමන් හොයාගෙන එන අමුත්තව. අමුත්තා දැක්ක විතරයි වඳුරා නඟුට අරගෙන ඇස් පිහිදදා බලනවලු, ඇස් ලොකු කර කර බලනවලු...

කිඹුලා ගහ ළඟටම ආවම වඳුරා කියනවලු....

"මචං.. උඹ මාර වතුර බීමක්නෙ බීල තියෙන්න"

Saturday, December 25, 2010

නත්තල් සීයා, ඉන්ජිනේරු සිසුන් හා වයින් කතන්දර....

 

image

නත්තලකුත් ආවා නේද?

නත්තල කිව්වම අපේ පොඩි උන්දැලටනං කෙලින්ම මතක් වෙන්නෙ නත්තල් සීයා නෙ. ඔය නත්තල් සීයා ඉන්නවා නේද? එයා තමයි ලෝකෙ ඉන්න එකම මනුස්සයා රෑට  රෑට ගෙවල් වලට ඇතුලු වෙලා කට්ටිය නිදිද කියල බලලා යහතින් යන්න පුලුවන්..නැද්ද මං අහන්නෙ..

කෑම ජාති ලිවිල්ලත් තියනව කරන්න.  වෙලාව වෙලාව...!! 

මතකද මන්දා කට්ටියට මම ඉන්ජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ කියලා කතන්දර සෙට් එකක්ම දැම්මා. මතක නැතුව ඇති නේද? මෙතනින් යතෑකි ඕන නං..

http://blogvampa.blogspot.com/search/label/human%20resources

ඔන්න අදත් පොඩි කතන්දරයක්.. ඉන්ජිනේරුවෝ ගැනම තමයි ඉතින්.. වෙන කවුරු ගැන ලියන්නද මේ මං හැබෑට..

ඔන්න ඉතින් ඉන්ජිනේරු සිසුවෙක්  එක දවසක් සිරා ස්කූටර් එකක් පැදගෙන එනවලු. මේක දැකපු පොරගෙ යාලුවා ඇහුවලු (පොරත් ඉතින් ඉංජෙක් ම තමයි)..

"ශහ්.. සිරා ස්කූටර් එක නේ මචං .. ගත්තද? "

එතකොට අපේ කතා නායකයා ස්ටෝරිය දිගාරින්න පටංගත්තලු..

"මාර වැඩක් වුණානෙ මචං.. මම ඊයෙ හවස ගෙදරට ඇවිදගෙන යනකොට අර අල්ලපු ගෙදර ඉන්න කෙල්ල ඉන්නෙ.. ඒ කෙල්ල මේ ස්කූටරෙන් මගේ ඉස්සරහට ඇවිත් , ස්කූටර් එක පැත්තකට දාල එක සැරේටම ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගැලෙව්වනෙ.."

" නෑ.. ඉතින්? "

"ඇවිල්ල කියපි .. Take anything you want !! කියල.. මම ඉතින් ස්කූටර් එක අරගෙන ආව..."

"හරියටම හරි.. නියම තේරීම..කොහොමත් ඔයාට ගෑනු ඇඳුම් හරියන්නෙ නෑ නෙ !! "

ඔන්න ඉතින් කතන්දරේ බලල හිතන්නෙපා ඉන්ජිනේරුවන්ට ඕකත් තේරෙන්නෙ නෑ නෙ කියල.. හරියට බලන්න.. ඉන්ජිනේරු සිසුවෙක් කියල ලියල ඇති...!! පස්සෙ දාන්නංකො ඉංජන්ගෙ තව කතන්දර ටිකක්...

දැන් ඉතින් නත්තල් නිසා කට්ටිය හාෆ් කට් වෙන්න ඕන ඉන්නෙ. මොනවද ඉතින් නේද? පිස්සා නං අවුරුදු 12ක එකක් ගත්තා කියලා පෝස්ට් එකේ දාලම තිබුණා. අවුරුදු 12ක් කියන්නෙ සුළු ප‍ටු කාලයක්ද හැබෑට.  ඔය පරණ කරන ඒව හා ඒ අංශෙ ගැනත් අපි ඉදිරියට කතාකරමු.  මේ කාලෙ ඉතින් කරළියේ තියෙන්නෙ වයින් තමයි.

වයින් ගැන කිව්වම වයින් කියන්නෙ ස්වාභාවික පළතුරු යුශ පැසවීමක් (fermentation) මගින් ලබාගන්නා ඇල්කොහොල් සහිත පානයක්. වයින් කියපුගමන් ඔලුවට එන්නෙ මිදි වුණාට වෙනත් පළතුරුවලින් සෑදූ වයින් (ඇපල්, වයිල්ඩ් බෙරීස්) වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යවහාරයයේදී ඒවා ෆෘට් වයින් ලෙසයි හඳුන්වන්නේ.
වයින් කියන්නෙ සෑහෙන්න ඉතිහාසයක් තියෙන පානයක් නෙ. මුලින්ම වයින් හැදුවෙ ඉරානයෙ කියලයි මම අහල තියෙන්නෙ. මොහන්දෙජාරෝ හරප්පා ශිෂ්ඨාචාර වලත් නයිල් නිම්නයෙත් වැඩේ නැගල ගිහින් තියෙනවලු.
සාකේ වලට කියන්නෙ රයිස් වයින් කියලා සමහරු. මොකද ඒක හදන්නෙ හාල් වලින් නිසා.
ලෝකයේ වැඩිම විවිධත්වයක් ඇති මධ්‍යසාරයත් වයින් මගේ හිතේ. ඉතින් වයින් කිව්වම එක එක විදියෙන් තියෙනවා. සාමාන්‍යයෙන් වයින් බෝතලේක ලේබලේකින් ඒ වයින් වර්ගය ගැන යම් අවබෝධයක් ලබාගන්න පුලුවන්. වයින් වර්ගයේ නම, නිශ්පාදිත රට, නිශ්පාදකයා , ඇල්කොහොල් ප්‍රතිශතය හා නිශ්පාදිත වසර ලේබලයෙන් කෙලින්ම බලාගතහැකි දේවල්. මේ හැරෙන්න වයින් වර්ගයේ රස ගැන අවබෝධයක් ලබාගැනීමට තවත් වැදගත් කරුණු කීපයක් දැන ගත යුතු වෙනවා. මේ අතරින් මිදි වර්ගය හා උප වර්ගය, මිදි වැවුණු ප්‍රදේශය ප්‍රධානයි. අමතරව වයින් body එකත් දැනගත යුතුයි.
පැරණි වයින් වල රසය  ඉහලයි. ඒලෙසම මෘදු ගතියෙන් වැඩියි. සාමාන්‍යයෙන්  7% සිට 25% දක්වා ඇල්කොහොල ප්‍රතිශතයෙන් වයින් ලබාගතහැකියි. වෙළඳපොලේ සාමාන්‍ය වයින් බෝතලයක 12.5%-15% පමණ ඇල්කොහොල් අඩංගුවෙනවා.

බෝතලයක ඩ්‍රයි වයින් ලෙස සඳහන් වූවොත් එහි අදහස සීනි ප්‍රතිශතය අඩු බවයි.

මිදි වර්ග ගැන කතාකළොත් Merlot, Pinot Noir, Sauvignon, Merlot Cabernet, Chardonnay, Cabernet Sauvignon  වැනි මිදි වර්ග වලින් සාදනු ලැබූ වයින් වල රසය ඉහලයි. Merlot, Merlot Cabernet & Chardonnay නං මරු මට.

වයින් බොඩි එක යනුවෙන් සරල වචන වලින් අදහස් කරන්නේ වයින් වල සාන්ද්‍රණයයි. ලයිට් බොඩීඩ් වයින් ඉතා මෘදු වන අතර බොහෝ කාන්තාවන් හා ළමයි ප්‍රියකරන්නේ එයයි. ෆුල් බොඩීඩ් වයින් වල රසය හා වයින් සැර වැඩියි.

එහෙනං .. සුබම සුබ නත්තලක්....

 

P.S.

Please Drink Responsibly

පහුගිය දවස් ටිකේම මේ පැත්තෙ එන්න බැරිවුණා නෙ. අවුරුද්ද අන්තිම නිසා අර රිපෝට් මේ රිපෝට් ප්‍රොජෙක්ට් සමරයිසේශන් අරවද මේවද වැඩ ලෝකයයි. රීඩරේට දාගනිපු බ්ලොග්ස් ටික නං කියෙව්වා ඒත් වරද්දන්නෙ නැතුව. කොමෙන්ට් නොදැම්මට කට්ටිය තරහගන්නෙකක් නෑ කියල හිතනව. ආයෙත් නිල වශයෙන් වැඩ කටයුතු පටන්ගන්න තියෙන්නෙ ජනවාරි 10. එතකං පුලුවන්තරං පරිගණක භාවිතාවෙන් ඈත් වෙන්නයි හිතාන ඉන්නෙ. බලමුකො..

Monday, December 13, 2010

බොම්බේ චිකන් බිරියානි හදමු | How to make Bombay Chicken Biryani

 

image

කලින් කියල දීපු කෑම වලට, විශේෂයෙන් චීස් පැස්ටා එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුණ නේ. අද ටිකක් ප්‍රසිද්ධ කෑමක්. බිරියානි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. ඒත් ලංකාවෙ බිරියානි කියල ගොඩක් තැන් වල තියෙන්නෙ කහ දාපු බතකුයි, බිත්තරේකුයි, බැදපු මස් කෑල්ලකුයි නේ.

ඒක ඉතින් කාටත් කරගන්න පුලුවන් නේ. මම ඔන්න හරියට උගන්නනයි යන්නෙ. කට්ටිය ඉතින් පෑනක් කොලයක් අරගෙන වටවෙන්න හරිය.

දෙන්නෙකුට සෙට් වෙන ගානටයි අද දෙන්නෙ රෙසිපිය.

ඕන දේවල්

බාස්මතී හාල් - ග්‍රෑම් 250-300ක්
චිකන් ග්‍රෑම් 300-400ක්
යෝගට් (රසකාරක නොදැමූ , සිංහලෙන් අන්ස්වීට්න්ඩ් කියල කියන්නෙ) හෝ මී කිරි අඬු කෝප්ප එක හමාරක්
මස් කරි තුනපහ (විදේශගතව සිටින කට්ටිය ඉන්දියන් කඩේකින් ගරම් මසාලා ගන්න, ඒක තමයි ඔරිජිනල් රෙසිපි අයිටම් එක)
ඉඟුරු කෑලි දෙකක් තලලා ගන්න
සුදුළූනු බික් හයක් තලලා ගන්න
රට ළූනු ගෙඩි බාගයක් පොඩියට කපාගන්න
බිත්තර දෙකයි
තෙල් (කලිනුත් කියලා තියනවනෙ, කොලෙස්ටරෝල් නැති එකක් ගන්න)
කුරුඳු කෑල්ලක්
මිරිස් කුඩු
කජු
සෝයා සෝස් (ස්පයිසි සෝයි සෝස් නං හරියටම හරි)
තක්කාලි ගෙඩි එකක් (සාමාන්‍ය තෙම්පරාදුකරන ගානට කපාගන්න)

ක්‍රමේ මෙහෙමයි...

චිකන් ටිකක් ලොකු කෑලි වෙන්න කපාගන්න. බාජනේකට මීකිරි හෝ යෝගට් කෝප්ප එකක්, කහ , තලාගත්තු ඉඟුරු කෑල්ලක්, තලාගත්තු සුදුළූනු බික් තුනක්, ගරම් මසාලා හෝ මස්කරි තුනපහ, මිරිස් කුඩු හා ලුණු කන ගනනට, සෝයා සෝස් පොඩ්ඩක්, දාගෙන කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. මේ පේස්ට් එකේ චිකන් කෑලි ටික බස්සලා හොඳට කෑලි වල ගෑවෙන්න අතගාලා පැය දෙකක් විතර තියන්න සීසන් වෙලා එන්න.  මේකට සිංහලෙන් කියන්නෙ මැරිනේඩ් කරනව කියලා. පැයකට වඩා නම් අනිවාර්යයෙන්ම තියන්න වෙනවා, නැත්නං වැඩේ හරියටම එන්නේ නෑ.

මෙන්න මේ වගේ තියෙන්න ඕන..

DSC00366

 

මේ අතරෙ බාස්මතී බත් උයන්න පටන්ගන්න. ඒකට වැඩිය වෙලාවක් යන්නෙ නෑ. වතුර අඩුවෙන් තියන්න. නැත්නං ඉතින් කිරිබත් වෙනවා. සම්පූර්ණයෙන්ම තම්බගන්න ඕන නෑ. මොකද ආයෙත් තම්බනවනේ. බත හැදෙද්දි කුරුඳු කෑල්ලක්, කහ සහ මස්කරි තුනපහ හෝ ගරම් මසාලා පොඩ්ඩකුත් දාගන්න. මේකට පොඩි වැඩකෑල්ලක් විදියට ග්‍රීන් පීස් දාගන්න (මම නං දැම්මෙ නෑ). කජු ටිකත් දාන්න.

DSC00368

බාජනේකට තෙල් දාල ඉතුරු ඉඟුරු, සුදුළූනු ටික බැදෙන්න දාන්න. තක්කාලි , ළූනු ටිකත් දාන්න. කහ,ලුණු, කුඩු මිරිස්, ගරම් මසාල හෝ මස් කරි තුනපහ දාගන්න. විනාඩි තුනකට විතර පස්සෙ මැරිනේඩ් වෙච්ච චිකන් ටිකත් දාල ඉතුරු යෝගට්/මීකිරි ටිකත් දාල, ගින්දර අඩු කරල වහල චිනාඩි 20-25ක් විතර තම්බගන්න, හැඳි ගාන්න අමතක කරන්න එපා. රසේ හැටියට ලුණු දාන්න. පේස්ට් එක හි‍ඳෙනවා වගේ පේනවා නං වතුර පොඩ්ඩකුත් දාන්න. පොල්කිරි නං වැඩිය හොඳයි.

DSC00371

මේ තියෙන්නෙ. මේ වගේ තියෙන්න ඕනෙ.

චිකන් තැම්බෙන්න ඕන දැන්. තැම්බුනාට පස්සෙ බත් ටිකත් දාගෙන කලවම් කරලා ගින්දර අඩු කරල තව විනාඩි 5ක් තියන්න. 

බිරියානි රෙඩි..

දැන් අර ලිස්ට් එකේ තියන බිත්තර මොක ටද ගත්තෙ කියල ප්‍රස්නෙ එනවනේ. ඒ දෙක තම්බල ගන්න.  ක‍ටු ඇරලා පෑන් එකකට තෙල් දාගෙන රත් වෙද්දි කහ ටිකක් දාල තම්බපු බිත්තර දෙක බැදගන්න.  මෙන්න ‍ෆිනිශ්ඩ් ප්‍රඩක්ට් එක.

DSC00372

අපි නං කෑවා.. කාලම බලන්න. වෙනස වටහාගන්න... :)

DSC00373

 

කලින් දාපු  කෑම ජාති මෙතනින් බලන්න පුලුවන්...

http://blogvampa.blogspot.com/search/label/Recipe

මීළඟ රෙසිපිය බොහෝ විට ඉන්දියානු තාලෙ චිකන් කරියක් වෙන්න පුලුවනි... :)

Sunday, December 12, 2010

මා පැතූ දේ කෝ & උපදින්න ආයේ | Ma Pathu De Ko & Upadinna Aye | H.R. Jothipala

  image

හදට දැනෙන පද ඇඟට දැනෙන්න ගායනා කිරීමට ජෝතිපාලයන් හට තිබුනේ සුපිරි ගණයේ හැකියාවක්. අදටත් මගේ හා බහුතර ලාංකිකයන්ගේ ප්‍රියතම ගායකයන් අතර ඉහලම තලයේ සිටින්නට ඔහුට හැකිවී තිබෙන්නේ ඔහු විසින්  ප්‍රකට කළ ඒ ප්‍රතිභාව නිසාමයි. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා වැනි හැත්තෑව අසූව දශක වල ජයකෙහෙළි නැංවූ පදරචකයන්ගේ රචනා ජනප්‍රිය කරවීමට ජෝති ගේ දායකත්වය අතිමහත්.  පහත ගී කිහිපය මතකයට නඟාගන්නට සමත්වීමි.. බොහෝ දේ මතකයෙන් ගිලිහී ගොසිනි. මතකයට නැ‍ඟෙද්දී සටහනක් තබන්නේ එබැවිනි.

දොලොස් මහේ පහන  වාගෙ- ධර්මසිරි ගමගේ
ආනන්ද සාගරේ - කරුණාරත්න අබේසේකර
සඳ මෝදුවෙලා - ධර්මසිරි ගමගේ
මම ගන්නෙමී කරකාර - ධර්මසිරි ගමගේ
රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ - ආචාර්ය අජන්තා
මනමාලයි මනහාරයි- ආචාර්ය අජන්තා- හිඟනකොල්ලා චිත්‍රපටිය
රත්තරන් පෙම් පුරාණේ- ආචාර්ය අජන්තා

සටහන තැබීමට සිත්වූයේ හදිසියේ මිතුරෙකුගේ අවශ්‍යතාවයකට තැටි ගබඩාව පිරික්සීමේදී ලැබුණු පහත ගීත දෙක නිසයි. ශෝකාලාප ගීයක් මෙතරම් හැඟීම්බරව ගායනාකිරීමට වෙනත් කිසිවෙකු සමත්වේදැයි  මේ ගීත අසන සෑම මොහොතකදීම මා මගෙන්ම අසාගනිමි. ඒ සෑම මොහොතකම ජෝතිපාලයන්ගේ ප්‍රතිභාව ගැන විමතියට පත්වෙමි. නැවතත් අසන්නට සිත්වේ. ඉදින් නැවතත් අසමි..

ජෝති ඔබට නිවන් සුව....

මා පැතූ දේ කෝ
පාළුවී ලෝකේ
මංමුළා වෙන්නේ

නොසිතුදේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ
සිහිනයක් මේ ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

බිඳුණු ආලය පාළු වූසේ
ගොයම නියඟින්නේ
සුවඳ දී කුසුමක් පිපීලා
පරමලක් සේ යන්නෙ පරවී
මා මැරී සුන්වී

 

උපදින්න ආයේ
අතගන්න මාගේ
නැඟිටින්න ඔය නින්ද නොනිදා අනේ
ඔබ ඉන්න ලෝකේ
පවසන්න මිහිරේ
මම එන්නෙමී  දැන්ම හැර ජීවිතේ

පය මාගේ සිඹලා
පිළිගත්තෙ වැඳලා
දෙවියා ඔබයි මාගෙ කියලා
මට ඉන්න කියලා
ඇයි ඉන්නෙ නිදලා
නැගිටින්න මගෙ හුස්ම දෙමි මා

සිහිවෙන්න කියලා
දුන් මුද්ද පළඳා
සිටියා එදා මාව ‍රැකලා
මගෙ වාසනාවන් සුළගේ ගියාදෙන්
හමුවේවා මතු ආත්මයේවත්

 

 http://blogvampa.blogspot.com/2010/07/hr-jothipala.html

ප.ලි.

මේ ලිපියේ අරමුණ වුණේ ජෝතිපාලයන්ගේ වෙනත් "බූට් ගී" අතර මේ ගී දෙක ඉහලින් ඔසවා තැබීම නොවේ. කලකින් පසුව අහම්බෙන් ඇසුණ නිසා බෙදාගැනීමට පමණයි.

ජෝතිපාලට ගී ලියූවන් හා ගීත පිළිබඳ ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි. ධර්මසිරි ගමගේ ගැන ද ලිවිය යුතුය. ඔහු ජෝතිපාලට ගී ලියූවේ "අඳබාල ගීත ලියනවා" යැයි එකල සිටි ප්‍රබුද්ධ විචාරක දෝශාරෝපණ නොතකමිනි. අජන්තා රණසිංහට පීචං ලේබලය ඇලවී තිබිණි. ඒ ගැන පසුව කතාකරමු..

Tuesday, December 7, 2010

නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක !

මීට කාලෙකට කලින් මතකනේද අර කොල්ලෙක් සුචඳ මට දී සින්දුව වෙන වෙන වොයිස් වලින් කියල සෑහෙන්න ජනප්‍රියවුණ වීඩියෝ එකක් තිබුණා. මෙන්න එයාගෙම තවත් එකක්. වීඩියෝවෙ තත්වය නම් එච්චර සතු‍ටුදායක නෑ. ඒත් සද්දෙ නරක නෑ. අහලම, නෑ බලලම බලන්නකෝ.

video


පරණ එක බලල නැත්නං මේං ඒකත්.
video

මීට කලිනුත් මේ වගේ ඒව කීපයක් දැම්ම මතක විදියට..

රූකාන්ත - හෝම් මේඩ්
සන්ෆ්ලවර් - සජිත් ප්‍රේමදාස
ෆ්ලෑශ්බැක් - විමල් වීරවංශ
පියානෝ බයිලා


ප.ලි.

ජාමෙ බේරගන්නයි මෙහෙම එකක්වත් දාන්නෙ. හරිහමන් එකක් ලියන්න වෙලාවක් කලාවක් නැහැනෙ.  හ්ම්ම්..




ජය.. වැම්පයර්

Monday, November 29, 2010

උප්මා හදමු - විනාඩි 20න් රසවත් උදෑසන ආහාරයක් - How to make Upma - A delicious breakfast in 20 mins

image  

දන්නෙම නැතුව පෝස්ට් 100ක් විතර යනකංම ඇවිත්. ඒ ප්‍රීතියට කට්ටියට රසවත් කෑමක් හදල දෙන විදිය තමයි කියන්නෙ. මේක උදෑසන ආහාරයක්. රෑටත් අවුලක් නෑ. 

උප්මා ගොඩක් ප්‍රසිද්ධ දකුණු ඉන්දියාවෙ. උප්පිට්‍ටු කියලත් කියනවා.

මේ මම කියන ප්‍රමාණ වලින් හතර දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන් වැඩේ හැදුනම. හරිනේ.. ලිස්ට් එක ලියාගමු..

  1. රුලං ග්‍රෑම් 500 ක් (පිට රටවල් වල ඉන්න අය ඉන්දියන් කඩේකට ගිහින් සෙමොලිනා කියල ඉල්ලන්න, කිලෝවක් ඩොලර් තුනක්-හතරක් වෙද්දි ගන්න පුලුවනි)
  2. ලොකු ළූනු ගෙඩියක්
  3. සුදුළූනු බික් 4ක්
  4. ඉඟුරු කෑල්ලක්
  5. කෑලි මිරිස්
  6. වියලි මිරිස්
  7. කජු (රටකජු වුනත් අවුලක් නෑ, පොතු ඇරලා)
  8. අමු මිරිස් කරල් දෙකක් විතර (සැරට කනවනං)
  9. පොල්කිරි කෝප්ප 1ක් (ස්කිම්ඩ් මිල්ක් වුනත් ඕකේ, මම හදන්නෙ ඒකෙන්)
  10. කරපිංචා

හරි.. දැන් හරිම ලේසියි වැඩේ.

රුලං ටික ලොකු පෑන් එකක දාල රත් කරගන්න. කලවං කරමින් රත් කරන්න මතක තියාගන්න. අර කබලෙ බදිනව කියන්නෙ. ඒක තමයි කරගන්න ඕන. සුදුපාට රුලං රස්නෙට ලාවට දුඹුරුපාට වෙද්දි නවත්තල පැත්තකින් තියාගන්න. කලවං කලේ නැත්නං ඉතින් යට දුඹුරු, උඩ සුදු!

ලොකු ළූනු ගෙඩිය, කරපිංචා, සුදු ළූනු, අමු මිරිස්. ඉඟුරු පොඩි කෑල්ලක් චොප් කරගන්න.

තරමක් ලොකු පෑන් එකකට (මම පාවිච්චි කරන්නෙ සෙන්ටිමීටර් 28 ක චයිනීස් ෆ්‍රයිඩ් රයිස් හදන පෑන් එකක්.. ෆ්‍රයිඩ් රයිස් රෙසිපියකුත් දෙන්නං ඉස්සරහට) තෙල් ටිකක් දාල චොප් කරපුවා දාගෙන බැදගන්න. කහ කුඩු ටිකක් දාගන්න. කුරුඳු පොතු කෑල්ලක්(පොඩියට කඩල) ඒකටම දාන්න. වේලිච්ච මිරිස් කරලක් දෙකක් ලොකුවට කඩලා දාන්න. කෑලි මිරිස් දාන්න. ලුණු දාන්න කන ගානට.

බැදීගෙන එද්දි කජු ටික දාගන්න.

තෙම්පරාදු වෙද්දි බර්නර් එක ඕෆ් කරල වතුර ටිකක් දාගන්න, තෙම්පරාදු කරපු මිශ්‍රනේට. ප්‍රවේසමෙන්. මොකද තෙල්+වතුර ඇඟට ඉහෙන්න ඉඩ තියනව.  වැඩි ආරක්සාවටයි බර්නර් එක ඕෆ් කරන්න කියලත් කිව්වෙ.

දැන් ආයෙ බර්නර් එක ඔන් කරල කබලෙ බැදගනිපු රුලං ටික ටික එකතු කරගන්න.  හොඳට හැඳිගාන්න. රුලං ඔක්කොම එකපාර දාන්නෙපා. කැට ගැහෙන්න බලනවා. තලපෙ වගේ එන්න ඕන. වතුර මදි නං වතුර දමමින්, රුලං දමමින් කලවං කරගන්න. තලපයක් වගේ එන්න ඕන.

බර්නර් එක අඩු කරගෙන තලපෙ කලවම් කර කර පොල් කිරි ටිකත් දාන්න.

දැන් ගින්දර අඩුවෙන් තලපෙ බාජනේ නො ඇලෙන ගානට එනකං රත් කරගන්න.

වැඩේ ඉවරයි...

තලපයක් වගේ තමයි. ඒත් තලප වලට වඩා හරි රහයි.. මාලු හොද්දක් එක්ක නං මරේ මරු.

වැඩේට යන්නෙ විනාඩි 20 ක් හෝ අඩු කාලයක්..

 

ස්මාට් කුකිං ටිප්ස්

කැනෝලා තෙල් පාවිච්චි කරන්න (මේකෙ ට්‍රැඩිශනල් රෙසිපියෙ තියෙන්නෙ ගිතෙල්, ගිතෙල් රසම ගන්න ඕන නං බටර් වලින් තෙම්පරාදු කරන්න)

රුලං වලට වතුර උරනවා, ඇතිවෙන්න වතුර දාගන්න. පස්සෙ වතුර හින්දවගන්න බැරිය. තලපයක් ගානට කරගන්න ඕන.

එලවලු දාල බලන්න..

Saturday, November 27, 2010

රූකාන්ත සහ ජයන්ත දිසානායක - Home Made - Rookantha & Jayantha Dissanayaka

රූකාන්ත හා ජයන්ත දිසානායකගේ හෝම් මේඩ් වීඩියෝවක් ලැබුණා. පහතින් එය නැරඹියහැකියි.

video




මයික්‍රොසොෆ්ට් වලට නම ලැබුණු හැටි (16+) Why Bill named it as Microsoft..(16+)

 

අද පොඩි වෙනසකටත් එක්ක විහිලු කතන්දරයක් දාන්න හිතුනා. ගොඩක් ඉතින් වැඩිහිටියන්ට පමණක් නේ විහිලු තියෙන්නෙ. මේකත් පොඩ්ඩක් ඒ ජාතියෙ එකක්.

අනූ පහෙදි හියු ග්‍රාන්ට් මහත්ත්තය එක්ක ඩිවයින් බ්‍රවුන් නෝන ගේ පලහිලව්වක් තිබුණා. ඉතින් ඕක දැකල බිල් මහත්තයටත් හිතුන ඩිවයින් බ්‍රවුන් එක්ක හෝටලේකට යන්න. ඔව් ඉතින් ඒකට තමයි. බත් කාල එන්න නෙවයි..!!

බිල් මහත්තය හියු ට  කෝල් කරල කියනව...

මචන් හියු.. මටත් අරක සෙට් කරපන්කො..
ඕකේ.. මම කියන්නං..

කියල වැඩේ සෙට් කරගත්ත. දැන් ඉතින් ඩිවයින් බ්‍රවුන් හෝටලේ ඉන්නව. බිල් මහත්තයත් කාමරේට රිංගුව.

ටිකකින් වැඩේ අවසානයි. 

දැන් දෙන්න ඇඳේ දිගා වෙලා ඉන්නව. බිල් මහත්තයට ෆුල් හැපි!

බිල් මහත්තය කිව්ව...

දැන් මම හරියටම දන්නව ඔයාට කට්ටිය "ඩිවයින්" කියන්න ඇයි කියල..

නෝන කියනව..

දැන් මම හරියටම දන්නව ඔයාට කට්ටිය "මයික්‍රො-සොෆ්ට්"  චෙයාමන් කියන්නෙ ඇයි කියල....

…………………………..

Divine = දිව්‍යමය

හියුග්‍රාන්ට් හා බ්‍රවුන් හැර ඉතිරි චරිතනාම හා සිද්ධි මන:කල්පිතයි :D

Thursday, November 25, 2010

මෙහෙමත් දොස්තරලා - නැවත විකාශය | Repost

සින්ඩිකේටර් කීපයකම ඊයේ මා දැමූ පුවත පලවී තිබුනේ නෑ. නැවත පලකරමි.

 

කාලෙකට කලින් සිරකරුවා බදුල්ල රෝහලේ දී දොස්තර කෙනෙකුගේ හැසිරීම ගැන පුවතක් පළකලා මතක ඇති..
මෙතනින් එම ලිපියට යන්න පුලුවනි...

http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html

එය කෙළවර වුණේ සිරකරුවාට මරණ තර්ජන, හා පොලිසීයට යාමට සිදුවීමෙනුයි.

මේ ගැන පලාමල්ලේ පිස්සාත් දාල තිබුණා..

http://palaamalla.blogspot.com/2010/08/blog-post_08.html

මේ අද ලංකාදීප පුවත්පත....

http://www.lankadeepa.lk/2010/11/23/front_news/04.htm

මේ පුවත් දෙක අතර සම්බන්ධයක් තිබෙනවාද? බදුල්ල රෝහලේ ඇතිවී ඇති මේ තත්වය ලංකාවේ හැම තැනම මෙහෙමද? තීරණය ඔබට බාරයි...

Wednesday, November 24, 2010

මෙහෙමත් දොස්තරලා.... Part 02

image 

කාලෙකට කලින් සිරකරුවා බදුල්ල රෝහලේ දී දොස්තර කෙනෙකුගේ හැසිරීම ගැන පුවතක් පළකලා මතක ඇති..
මෙතනින් එම ලිපියට යන්න පුලුවනි...

http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html

එය කෙළවර වුණේ සිරකරුවාට මරණ තර්ජන, හා පොලිසීයට යාමට සිදුවීමෙනුයි.

මේ ගැන පලාමල්ලේ පිස්සාත් දාල තිබුණා..

http://palaamalla.blogspot.com/2010/08/blog-post_08.html

මේ අද ලංකාදීප පුවත්පත....

News

http://www.lankadeepa.lk/2010/11/23/front_news/04.htm

මේ පුවත් දෙක අතර සම්බන්ධයක් තිබෙනවාද? බදුල්ල රෝහලේ ඇතිවී ඇති මේ තත්වය ලංකාවේ හැම තැනම මෙහෙමද? තීරණය ඔබට බාරයි...

Tuesday, November 23, 2010

කාපු බීපු කතන්දර...

image

කන බොන වෙලාවට කාපු බීපු කතා මතක් වෙනවා. අපේ එකෙක් නුවර එලියටම ඇවිද්ද හැටි ගැන මම මීට කලින් කිව්වා මතකයි නේද? මේකත් ඒවගේ කතාවක්. අපේ කට්ටිය ගෙ සතා එලියට එන්නෙ ඉතින් දෙකක් දාගත්තම නේ. චිකන් උනත් සතා වෙනස්! ඒ කතාව දන්නවා නෙ. ඔන්න ඉතින් එක හෝටලේකට ගිහින් කට්ටියක් කෑමට සෙට් වුණාලු. මස් පීරිසිය අතට ගත්තු පොර බෙදාගන්න කලින් වේටර් මල්ලිට සද්දයක් දැම්මලු..

මල්ලි මල්ලි.. මේ මොන මස්ද?
චිකන් සර්..
හරි හරි.. චිකන් බව දන්නවා.. සතා මොකාද?

ඕකෙ ඔය තියනවට වඩා ටිකක් ගැඹුරු තේරුමක් තියනවා. ඒකයි මම කිව්වෙ චිකන් උනත් හරි සතා එලියට එන්න දෙකක් දාගන්නම ඕන කියලා.

ඔන්න ඉතින් වෙනදා වගේම සරසවි බිම ඇතුලෙ කට්ටිය සෙට් වුණා. දැන් වැඩේ නැගගෙන යනවා.. එක පාරටම සචියා මෙහෙම කියපි...

මට චූ කරන්න යන්න ඕන බං...
ඉතින් පලයන්.. අපි අල්ලගෙන ඉන්නවැයි..
අනේ බන් වරෙන්කො යන්න..
ඇයි මගේ එකෙන්ද කරන්නෙ?
නෑ නෑ.. වරෙන් යන්න...
හපෝ මළ කරදරේ.. මම ගිහින් එන්නං.. මූ  ඇදගෙන වැ‍ටුණොත් හෙම..

කියල එක්කගෙන ගියා අමිලයව. දැන් දෙන්නම නෑ.. පැය බාගයක් විතර ගියා.. අපිටත් ෆුල් අප්සට් වැඩේට. කොයි ලෝකෙ ගියාද දන්නෙ නෑ නෙ. කට්ටිය කතා වුණා ඉතින් හොයන්න යන්න. කට්ටිය කිව්වෙ හොඳ සිහියෙන් හිටපු කීප දෙනා...

පැයකට විතර පස්සෙ මෙන්න මුන් දෙන්නා එනවා වැනි වැනී....

කොහෙද බොලව් ගියේ?
සචියා හික් හික් ගගා හිනාවෙනවා.. හිනා එකයි..

අමිලයා කියනවා..
උඹ දන්නෙ නෑ නේ මූ කරපු වැඩේ.. මූ කතා කළා තව ගේන්න ක‍ටුබැද්ද හන්දියට යන්න..
ඉතින් හරකො.. මේ රෑ 2 ට බාර් ඇරලද?
ඒකනේ බං.. මටත් මීටර් උනේ නෑ.. මමත් ගියා...බැලින්නං මූ ළණුවක් දීලනේ තියෙන්නෙ..
ඇයි මූ චූ කරන්න කියල නේද ගියේ?
මූට චූ කරන්න හිතිල තියෙන්නෙ ක‍ටුබැද්ද හන්දියෙ.... #$@$%^$^$#
මාත් එක්කන් ගිහින් චූ කරලා ආවා ....

අපිට හිනාව නවත්තගන්න විනාඩි පහක් විතර ගියා..

පසුවදන-
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිතේ ඇතුළත ඇති දේවල් ක්‍රියාවට නැංවීමට සිත්වේ. තවද ළණු කෑමේ  සම්භාවිතාවයද ඉහල යයි..හැකිතාක් වැලකී සිටින්න....

Sunday, November 21, 2010

How to Rip a DVD as aXXo | aXXo වගේ ඩීවීඩී රිප් කරමු

image

චීස් පැස්ට හැදුවට පස්සෙම මේ පැත්ත්ට එන්න බැරිවුණා මොනවහරි කුරු‍ටු ගාල යන්න. අද පොඩි වෙනස් දෙයක් කියන්න යන්නෙ. ටෙක් ටෝක් එකක්. අන්තර්ජාලයෙන් චිත්‍රපට බලන බොහෝ දෙනා aXXo ගැන දන්නව ඇතිනේ. DVD Rips ගන්න බොහෝ දෙනෙක් aXXo ප්‍රින්ට් එකක් එනකං ඉන්නවා ඩවුන්ලෝඩ් කරගන්න.

කතාව මේකයි. මම දැන් කියන්නෙ කොහොමද ඒ වගේම රිප් කරගන්නෙ කියලා අපි ළඟ තියෙන DVD එකක්. මේ ක්‍රමේ තියෙන විශේෂත්වෙ තමයි සම්පූර්ණයෙන් නොමිලේ ලැබෙන මෘදුකාංග බාවිතාකිරීම..

පටන්ගන්න මේ දෙක බාගත කරගෙන පිහි‍ටුවාගන්න.

  1. AutoGK <download>
  2. DVD Decrypter <download>

පියවර..

ඩීවීඩී එක දාල ඩික්‍රිප්ටර් එකෙන් Ifo ෆයිල් මෝඩ් එක සිලෙක්ට් කරන්න. ඩෙස්ටිනේශන් එකට තමන් කැමති ෆෝල්ඩර් එකක් දෙන්න, හැබැයි මේ වැඩේට ටිකක් ඉඩ තියන පාටිශන් එකක තියන ෆෝල්ඩර් එකක් දෙන්න ඕන.

image

image දැන් input ටැබ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් චේන් ෆයිල් එක ‍තෝරගන්න ඕන (PGC file). මොන ෆයිල් එක ‍තෝරගන්නවද කියන ප්‍රශ්නෙ එනව මෙතනදි. ‍ෆිල්ම් එකක් නම් දිගම ටයිමිං තියන ෆයිල් එක සිලෙක්ට් කරන්න.  ටීවී සීරිස් එකක් හරි සෙග්මන්ටඩ් ඩීවීඩී එකක් හරි නම් තමන් කැමති එපිසෝඩ් එක සිලෙක්ට් කරන්න ලෙන්ත් එක බලලා.

image

දැන් වැඩේ බාගයක් හරි. කොල පාට ඇරෝ එක ක්ලික් කරලා පැය බාගෙකින් විතර එන්න වෙන වැඩක් කරලා (‍ෆිල්ම් එකක් නම්)...

වැඩේ ඉවර වෙලා නම් ඩෙස්ටිනේශන් ඩිරෙක්ටරි එකේ ෆයිල් තුනක් තියෙන්න ඕන..
ifo, vob, txt  දිගු තියෙන.

දැන් එන්කෝඩිං කිරීම..

ඔටෝජීකේ ඕපන් කරල හදාගත්ත vob එක දෙන්න.  අවුට්පුට් avi ෆයිල් නේම් එකත් ස්පෙසිෆයි කරන්න.

image

ඕඩියෝ ට්‍රැක් එකයි සබ්ටයිටල් ට්‍රැක් එකයි දෙන්න. මෙතනදි මුලින් ඩීවීඩී එක ප්ලේ වෙද්දි තියන ඩිෆෝල්ට් ඕඩියෝ එක තමයි මුල් ට්‍රැක් එක විදියට එන්නෙ. සබ්ටයිටල් වලටත් එසේමයි.

image

දැන් හරි. ෆයිල් සයිස් එක ස්පෙසිෆයි කරන්න. 700 මෙගා බයිට්, 350 මෙගාබයිට් ... කැමති එකක්. මම 700 තමා සිලෙක්ට් කරන්නේ. තව තමන් කැමති සයිස් එකකට හදාගන්නත් පුලුවනි.

image
ඇඩ්වාන්ස් සෙටින්ස් වලින් වේරියබල් බයිට් රේට් MP3 VBR 128 kbps ‍තෝරන්න. කොන්ස්ටන්ට් බයිට් රේට් වලින් මම බලාපොරොත්තුවන තත්වය ආවෙ නෑ.

image

කොඩෙක් Xvid ‍තෝරන්න. DivX තේරුවොත් ඒ කොඩෙක් පැක් එක ඕන වෙනවා සාමාන්‍යයෙන්.

ඇඩ් ජොබ් > ස්ටාට්.......

දැන් ඉතින් පැය එකහමාරක් විතර යනවා වැඩේට...

ඉවරයි...

ජයවේවා...

 

Images are from http://elliottback.com

Friday, November 12, 2010

චීස් පැස්ටා හදමු ... | How to make Cheese Pasta ...



කලින් දවසක මම මස් පුඩිමක් හදන හැටි කිව්ව නේ. ඒකෙ අන්තිමට දැම්ම නේද මස් නොකන අයටත් පොඩි කෑමක් හදන හැටි කියල දෙන්නම් කියල. මේං ඒක. මේකට කියන්න පුලුවන් මැකරෝනි චීස්.. එහෙම නැත්නම් පැස්ටා චීස් හරි මොකක්හරි එකක්.

මෙන්න මේවයි ඕන...


  • මැකරෝනි/පැස්ටා ග්‍රෑම් 400ක්
  • ඔලිව් හෝ කැනෝලා ඔයිල් (මේ දෙකේම කොලෙස්ටරෝල් නෑ, කැමති නං කොලෙස්ටරෝල් තියෙන එකක් ගන්න :) )
  • අබ ස්වල්පයක්
  • චොප් කරගත් පාස්ලි (තියනවනං විතරක්)
  • ස්කිම්ඩ් මිල්ක් අඬු කෝප්ප දෙකක් (කිරි පිටි නං හරියනවද දන්නේ නෑ)
  • ග්‍රේට් කරගනිපු චීස් අඬු කෝප්පයක්
  • ලුණු
  • ගම්මිරිස්
  • තක්කාලි ගෙඩි තුනක් (පොඩි ඒවා, කො‍ටු කපාගන්න)
  • ග්‍රේටඩ් පාමිසන් චීස් කෝප්ප තුනෙන් එකක් (තියෙනවනං විතරක්)
  • පිටි මේස හැඳි 4ක් (මේකට සෙල්ෆ් රේසිං පිටි තියනවනං අගෙයි, නැත්නං නිකං පිටි ටිකක් දාන්න)

  1. ඉස්සෙල්ලා පැස්ටා/මැකරෝනි පැකට් එකේ තියෙන විදියට තම්බගන්න. සාමාන්‍යයෙන් නටන වතුරේ විනාඩි 10ක් තියල බේරුවම හරි. ලුණු, කහ පොඩ්ඩක් දැම්මට වරදක් නෑ.
  2. අවන් එක ප්‍රී හීට් වෙන්න තියන්න 180 විතර.
  3. තෙල් පෑන් එකක රත් කරල පිටි දාල කලවම් කරන්න. ඒකට අබ ටිකක් දාන්න (තේ හැන්දක් ඇති). දැන් පාප්පයක් වගේ තියෙන්න ඕන. ඒකට කිරි ටික දාල තව විනාඩි 5ක් විතර රත් කරගන්න. මේක හොඳට කලවම් කර කර කරන්න ඕන. දැන් එනව නිකං සුදු පාට සෝස් එකක් වගේ එකක්. දැන් බර්නර් එක වහල චීස් ටික දාල කලවම් කරන්න. රස්නෙට චීස් දියවෙලා ගොඩක් උකු පේස්ට් එකක් හැදෙයි. මතක තියාගන්න පිටි කැටි නොගැසෙන්න කලවම් කරන්න ඕන.
  4. මේකට පැස්ටා, තක්කාලි, පාස්ලි දාල කලවම් කරල ඕන ගානට ලුණු ගම්මිරිස් දාගන්න.
  5. දැන් පයිරෙක්ස් බාජනේකට මේක දාල උඩින්
  6. පාමිසන් චීස් ඉහල රත් වෙච්ච අවන් එකේ 180 විනාඩි 25ක් බේක් කරගන්න. (පාමිසන් චීස් රන්වන් දුඹුරු පාට වෙනකං)
ගොඩ තමා ඉතින් දැන්...

අම්බානක කනවනං හතරදෙනෙක්ට ඇති. සාමාන්‍යයෙන් 6 කට කන්න පුළුවනි.



ස්මාට් කුකිං ටිප්ස්
  • පාමිසන් චීස් රස්නෙට දියවෙන්නේ නෑ. හයියයි. ඒක නිසා හොඳ රසක් එනවා.
  • සෝස් එකට බිත්තරයක් දාල වෙනස වටහාගන්න (නන් වෙජි අය)
  • තීරු කපපු හැම් පෙති පහ හයක් දාල කලවම් කරල බේක් කරල බලන්න (නන් වෙජි අය)




ජයවේවා....



ප.ලි. - කමුබොමු.කොම් ඕන නං කොපි කරගන්න :) නෝ ප්‍රොබ්...

 

Thursday, November 11, 2010

කවුද බන් ඩෝල්ටන් අල්විස් කියන්නෙ? | Who the hell is Dolton Alwis?


මෑතදී මාගේ මිතුරෙකු හා මා අතර ගූගල් ටෝක් චැට් සංවාදයක් සිදුවුණා. එහිදී මාගේ මිතුරා මා'තින් ගී පද රචකයන් හා ගායකයින් ගැන ලියැවුණු ලිපි ගැන ඔහුගේ ප්‍රසංසාව පුදකළා. පහත දැක්වෙන්නේ ඒ දෙබසේ සිංහල පරිවර්තයක්..

මිතුරා: උඹ කොහොමද මේ වගේ දේවල් මතක තියාගන්නේ?
මම: මතක තියාගන්නේ නෑ බන්. පත්තර වල යන දේවල් පොත් වල තිබුණ ඒව බුක්මාර්ක් කරගෙන තමයි ලියන්නෙ. තව ටිකක් ලියන්න ඕන පරණ අයගැන, ඩෝල්ටන් අල්විස් වගේ.
මිතුරා: ඈ.. කවුද බන් ඩෝල්ටන් අල්විස් කියන්නෙ?

දෙබසට පෙර සත්‍ය වශයෙන්ම මසිතේ ඩෝල්ටන් අල්විස් ගැන ලිවීමට සිතක් නොතිබුණ නමුදු දෙබසින් පසුව එතුමා ගැන වදනක් ලිවීම්ට සිතක් පහලවීය. මේ කෙටියෙන් දිගහැරෙන්නේ එයයි.

ඩෝල්ටන් අල්චිස් නම මුලින්ම ඇසෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවක මණ්ඩලයෙනි. නිත්‍ය කවියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවක මණ්ඩලයේ ‍රැකියා කරන අතරතුරයි ගී පද රචකයෙකු ලෙස ඩෝල්ටන් අල්විස් නාමය කරළියට පැමිණෙන්නේ.කොළඹ ආනන්ද විදුහල් ආදි සිසුවෙකු වූ ඩෝල්ටන් අල්විස් ගේ හැකියා හඳුනාගෙන ඔහු ගුවන් චිදුලියට ගෙන ඒමේ ගරුත්වය ගුවන් චිදුලි ළමා පිටිය මෙහෙයවූ "සිරි අයියා' හෙවත් යූ.ඒ.එස්. පෙරේරා මහතාට හිමිවිය යුතු වන්නේය. ඩෝල්ටන් අල්විස් නාමය හුදී ජනතා සිතට රිංගෙන්නේ ඔහු විසින් ලියැවුණ දේශාභිමානී ගීත නිසා බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයක්. දේශාභිමානය ලයාන්විතව පදවලට නැඟීමට ඔහු තරම් දක්ශයෙක් කතෘගේ දැනුමට අනුව මෙතෙක් පහළ වී නැත. බුද්ධිමත්හු මා නිවැරදි කරත්වා.

තවද පාලි සංස්කෘත වදන් මෙන්ම කවියට ගීයට නුසුදුසු යැයි බොහෝදෙනා විශ්වාස කරන "මහප්‍රාණ" වදන් වැල් සිය නිර්මාණ වලට නොපැකිල යොදාගත් ඩෝල්ටන් විසින් පතළ කෙරුණු ඔහුගේ ප්‍රතිභාවෙන් කතෘ විශ්මයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. පණ්ඩිත් අමරදේවයන් ගයන පහත පදවැල මේ අවස්ථාවේ මා මතකයට නැඟේ.

අභිසම්බෝධි ඥණයෙන්
පංච මාර සේනා පැරදූ
ලෝක නාථ පා පංකජ වන්දේ

මෝහ මාන භව තණ්‌හා
ජාති ජරා මරණ ශෝක කඳුළින්
එතෙර වැඩිය මුනි වන්දේ වන්දේ

ලෝක තිවංකර ගෞතම මහමුණි වන්දේ

අභිසම්බෝධි ඥණයෙන්
පංචමාර සේනා පැරදු
ලෝක දිවාකර
මහ මුණි වන්දේ*

පහත යොමු ඩෝල්ටන් අල්විස් විසින් රචිත දේශාබිමාණී ගී කිහිපයකට ඔබ යොමු කරනු ඇත.


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි - පණ්ඩිත් අමරදේව
සසර වසන තුරු නිවන් දකින තුරු - පණ්ඩිත් අමරදේව
උඩඟු ලියන් ගොතා බඳින - විශාරද නන්දා මාලිනී
රන් දහඩිය බින්දු බින්දු - පණ්ඩිත් අමරදේව (මේ ගීතය ලියැවී තිබෙන්නේ ගුවන්චිදුලි සංස්ථාවෙන් සජීවීව පැවැත්වූ ගී රචනා තරඟයකදීයි)

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ - වික්ටර් රත්නායක (පිටස්තරයා ගේ කොමෙන්‍ටුවෙන් වැඩි විස්තර ලබාගන්න)

ඩෝල්ටන් අල්විස් අතින් ලියැවී ඇත්තේ දේශාභිමානී ගී පමණක්ම නොවේ. ආදර ගීත ද නො අඩුව ඔහුගේ පෑනින් කඩදාසි මත සනි‍ටුහන් වී තිබේ.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ශෙල්ටන් පෙරේරා
කවුරුදෝ අර කවුළුවෙන් - සනත් නන්දසිරි
කුණ්ඩලකේශී - පණ්ඩිත් අමරදේව
තුං තුඹ මල් - චන්ද්‍රාණි ගුණවර්ධන

බකිණි ගහේ බකිණි මලෙන් - එඩ්වඩ් ජයකොඩි, පුණ්‍යා කත්‍රිආරච්චි


හදවත! උඹ මගෙන් අවි ඉල්ලන්න එපා
මේ හඳ එළිය ඇති, ගිනි දල්වන්න එපා
කවි ලියනා මගෙ අත අල්ලන්න එපා
සාමයෙ බිළිඳු නිදි, ඇඳ හොල්ලන්න එපා

සාමය- ඩෝල්ටන් අල්විස්- 1984 සමස්ත ලංකා කාව්‍ය තරඟාවලිය - ප්‍රථම ස්ථානය


පීදෙන හෙළ රන් ගොයමේ
සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා
නව සිහිල සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි


නැවත හමුවෙමු....


* ගීයේ පිටපතක් සොයාගැනීමට අසමත්වීමි. පදවැල් දිනමිණ පුවත් පතේ පලවූ ලිපියකිනි.

Thursday, November 4, 2010

ලොව නරකම මෝටර් රථ 50 | The 50 Worst Cars of All Time

ක්‍රොස්ලි හොට්ශොට් - 1949 ඇමරිකාවේ නිශ්පාදිතයි

ලොව ප්‍රමුඛ පෙළේ ඇමරිකානු පුවත් සඟරාවක් වන ටයිම් සඟරාව ලොව එතෙක් මෙතෙක් නිපැයූ නරකම මෝටර් රථ 50 ලැයිස්තුගත කොට තිබෙනවා. 1899 සිට 2004 දක්වා නිපැයිත මෝටර් රථ වලින් විවිධ හේතූන් මත අසාර්ථක වූ නිර්මාණ ලැයිස්තුවට පහළ සබැඳියෙන් පිවිසිය හැකියි. මේ අතර 2003 හමර් H2, 2001 ජගුවර් X-Type, 2002 බී.එම්.ඩබ්. සෙවන් සීරීස් ඇතුළත් වීම පුදුමසහගතයි!

http://www.time.com/time/specials/packages/completelist/0,29569,1658545,00.html

ටොයොටා එකදු වාහනයක් වත් මෙයට ඇතුලත්වී නොමැති අතර, සියළුම වාහන වාගේ High-End කැටගරියෙන් වෙළඳපොළට පැමිණි ඒවා වීම විශේෂයි. ඒලෙසම සියළුම රථ යුරෝපයේ හා ඇමරිකාවේ නිශ්පාදන වීමත් විශේෂත්වයක්...

Sunday, October 31, 2010

විකල් මතක මැද පහන් තරුව ඔබ | Poems by Premakeerthi

ප්‍රේමකීර්ති ගේ ගුණසමරුවකට පත්‍රයක මාස කිහිපයකට ඉහතදී පළවුණ ලිපියකිනි මේ උපුටනය කරන්නේ. මාගේ මතකයට අනුව නම් පත්‍රය සිළුමිණ විය යුතුයි. ලිපිය එලෙසම වර්ඩ්  ගොනුවකට පිටපත් කරගතිමි. මෙහි ප්‍රේමකීර්ති ගැන ලියැවුණ  දේවල් නිසාවෙන් එම ලිපියේ තිබුණු ප්‍රේමකීර්ති ද අල්විස් අතින් ලියැවුණු කවි පද කිහිපය මෙහි පළකරමි.

ඡන්ද දායකයෝ

කාඩ් කුට්ටමේ
ආසියාත්
රැජිනත්
බූරුවාත් ඇත.
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ වාඩිවෙති
ලින්ටන් කැරපොත්තන්ට බයය
කතා කරන්නේ අහස්යානා ගැනය
සැල්ටන් අහස්යානාවලට බයය
කතා කරන්නේ කැරපොත්තන් ගැනය
ජොන්සන් කැරපොත්තන්ටත් අහස්යානාවලටත්
දෙකටම බයය
විල්සන් ඒ දෙකටම බය නැත
වාරයෙන් වාරයට
කාඩ් කුට්ටමේ
ආසියාත්
රජ්ජුරුවෝත්
රැජිනත්
බූරුවාත්
කැපෙමින් – වැටෙමින් – නැගිටිමින්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ මාරුවෙති
එහෙත්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
තාමත් උන් හිටි තැන්වලමය
ලින්ටන් කැරපොත්තන්ට බයය
සැල්ටන් අහස් යානා වලට බයය
ජොන්සන් දෙකටම බයය
විල්සන් දෙකටම බය නැත

 

දාස් පෙති මල්

එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි

 

වයලට්!

දැන් අප එක වහලක් යටය
දරුවන්ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින්වලින් වැහිලා නොඉවසුම
සමූපකාරයෙයි සීමාරහිත බව
ගෙවල් කුලියද – ලයිට් බිලද සුඛාන්තය!
වයලට්! මට සමාවෙන්න!
කන්තෝරුවේදී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට්ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.

අදාල දේ

http://blogvampa.blogspot.com/search/label/Premakeerthi%20De%20Alwis

Friday, October 29, 2010

රස කෑමක් හදමු - මස් පුඩිම හා මස් රාත්තල | Recipe - Meat Pudding and Meat Loaf

image

ගූග්ල් බස් එකේ ඉන්න මගේ යාලුවන්ට නං මම කිව්ව ළඟදි මම බ්ලොග් එකෙන් කෑම ජාති හදන හැටි උගන්නනව කියල. මේ ළඟදි මේ බ්ලොග් එක හිට්ස් තිස්දාහක් එක්ක කොමෙන්ට් දාහක් පහු කරලයි තිබුණෙ. ඉතින් මම කල්පනා කළා මේක බලන අයට පොඩි රස කෑමක් හදන්න උගන්නන්න ඕන කියල. කෑමෙ නම තමයි "මීට් පුඩිං" එහෙම නැත්නම් (මේකට මම ගත්තෙ හරක් මස් නිසා) "හරක් මස් පුඩිම". දැන් ඔන්න කට්ටිය පොල්ල අතට ගන්නෙපා මෙන්න මේකා හරක් මස් ප්‍රමෝට් කරනවැයි කියල. මේකට ඕනම රෙඩ් මීට් එකක්  එහෙම නැත්නම් රතු පාට මස් ජාතියක් ගැලපෙනවා.

පුඩිමයි ලෝෆ් එකයි දෙකම හදන්නෙ එක විදියට. පොඩි වෙනසයි තියෙන්නෙ. දෙකම මේකෙන් කියල දෙන්න පුළුවනි.

අවශ්‍ය කරන ජාති මුලින්ම ගමුකො.

ලෝෆ් එකට

අල ගෙඩි එකයි
කැරට් අලයයි
ලොකු ළූනු ගෙඩි බාගයයි
බිත්තර දෙකයි
සෝයි සෝස් (ස්පයිසි)
බටර්/මාගරින් පොඩ්ඩක් (50 grams)
ගම්මිරිස්, ලුණු, බැදපු තුනපහ
පාන් පෙති දෙකයි (සැන්ඩ්විච් පාන් වෙන්න ඕනෙ)
අඹරපු රතු මස් ග්‍රැම් 350ක් විතර (මේක ෆුඩ්සිටි/කීල්ස් සුපර් වල තියනවා - මින්ස්ඩ් මීට් (Minced Meat) කියල ඉල්ලුවනං හරි)

පුඩිමට
ඉහත කී දේවල් වලට අමතරව ස්කිම්ඩ් මිල්ක් (skimmed milk) මිලි ලීටර් 75ක් විතර

මින්ස්ඩ් මීට් හොයාගන්න අමාරු නං රෙඩ් මීට් ජාතියක් අරගෙන ක‍ටු ඇරල ෆුඩ් ප්‍රොසෙසර් එකක දාල අඹරල ගත්තම හරි. පොල් කිරි මිරිකන්න වගේ අඹරන්නෙපා හොඳේ. කෑලි තියෙන්න ඕන ඔය පල්ලෙහා පින්තූර වල තියෙන විදියට. නැත්තං වැඩේ වටලප්පමක් වෙනවා..

මුලින්ම අල ගෙඩියයි, කැරට් අලෙයි ළූනු බාගෙයි චොප් කරගන්න. පුලුවන්තරම් පොඩියට කපාගන්න. ග්‍රේටරයක් තියේනම් ලේසියි. පහළ රූපෙ බලන්නකො.

Chopped Potato

සෙට් එකම චොප් කළාම මේ වගේ.

Chopped

පාන් පෙති දෙක කෑලි වලට කඩාගන්න. ඔය තියෙන්නෙ මින්ස්ඩ් මීට් (අධිශීතකරණ ලද) සහ පාන් පෙති දෙකේ සුන්බුන්.

DSC00342

මින්ස්ඩ් මීට් සාමාන්‍ය උශ්නත්වයට ආවම (හදිස්සිනම් මයික්‍රොවේව් එකකට දාල ඩිෆ්‍රොස්ට් කරගන්න, කුක් වෙන්න දෙන්න එපා), අර කලින් කපාගත්තු සෙට් එකම දාල හොඳට අනාගන්න මෙන්න මේ විදියට.

DSC00345

ඒකට බටර් ටිකත් දාල අනන්න. ස්පයිසි ගතිය වැඩි කරගත්තෑකි ගම්මිරිස් ටිකක් දාල. කොහොමත් අපි සැරට කැමතියි නේ. බැදපු තුනපහ ටිකක් දැම්මට අවුලක් නෑ. හදද්දි තමන් කන ගානට තුනපහ දාගන්න. මම නං ඉතින් ෆුල් ස්පයිසි..

බිත්තර දෙක කඩල ලුණු දාල බීට් කරල සෝයි සෝස් දාල කලවම් කරගන්න. ලෝෆ් ඕන නම් ස්කිම්ඩ් මිල්ක් දාන්න එපා. පුඩිම නම් ඕන, ස්කිම්ඩ් මිල්ක් ටිකත් දාන්න. මේ තියෙන්නෙ.

DSC00344

මේ තියෙන්නෙ ඒ ටිකත් අර මිශ්‍රණේට දාල.

DSC00346 

දැන් අවන් එකක 200 සෙල්සියස් වල පැයක් - විනාඩි හැත්තෑපහක් වගේ බේක් කරගන්න. පේනවනෙ වැඩේ.

DSC00347

දැන් ඉතින් හැන්දෙන් හරි මොකෙන් හරි කපල හරි කොටල හරි කන්නයි තියෙන්නේ. රසයි..! සුවඳයි..! කොටින්ම හරක්මස් අල්ලල දාල හිටපු මගේ ප්‍රියම්බරීත් මේක උඩ පැන පැන කෑවෙ නැතෑ!

ලෝෆ් එක හදනවනං කිරි නොදා බිත්තර දෙක දාන්න. එතකොට ඔය අන්තිමට කලින් රූපෙ තරම් වතුර ගතියක් එන්නෙ නෑ නෙ. දැන් මිශ්‍රණේ පාන් ගෙඩියක් හැඩේට අතින් හදාගෙන තැටියක බේක් කරගන්න 200 යෙ පැයක්.

ස්මාට් කුකිං ටිප්ස් | Smart Cooking Tips

  • ලෝහ තැටියක් වුණාම පයිරෙක්ස් වීදුරු බඳුනකට වඩා ඉක්මනට වැඩේ වෙනවා.ඒත් පැයකට ආසන්න කාලයක් තියන්න (around 50 mins). පොඩ්ඩක් බලන්න විනාඩි 20න් 20ට වගේ. පිච්චිලා අඟුරු වුණොත් අහක දාන්නෙපා. දත් මදින්න ගන්න.
  • උඩම රූපෙ තියෙන්නෙ මීට් ලෝෆ් එකක්.ඔයිට වඩා නම් පොඩ්ඩක් දුඹුරු පාට කරගන්න. මොකද පිටරට වල ගොඩක් අය මස් වැඩිය තම්බන්නෙ නෑ. ඒකයි රතු දුඹුරු පාට තියෙන්නෙ. නමුත් ඒක එච්චරම හොඳ වැඩක් නෙවයි.
  • අවන් එකේ දාන්න කලින් අවන් එක ප්‍රී හීට් කරගන්න. (මුලින් රත් කරගන්න) නැත්නං බේක් නොවී තැම්බෙනවා!

මේක හදන විවිධ ක්‍රම තියෙනවා. මෙතනදී ඉදිරිපත් කරේ අපේ තාලෙට ගැලපෙන්න බඩටත් හරියන්න හදපු මගේම විදියක්...අත්දු‍ටුවයි.. ප්‍රත්‍යක්ශයි...

එහෙනං හැපි කුකිං...

ජයවේවා...

PS

මස් නොකන අයට රෙසිපීස් ඉදිරියේදී... :)

මේක ඩෙසර්ට් එකක් විදියට කන දෙයක් නෙවයි. මේන් මීල් එකක් විදියට ගන්න දෙයක්. බඩ පිරෙනවා. බය වෙන්නෙපා :)

Thursday, October 21, 2010

ප්‍රේමකීර්ති මිල්ටන් මල්ලවාරච්චිට ලියූ ගී... | Milton Mallawarachchi’s Songs written by Premakeerthi

 

අවසන් ලිපියෙන් දිගහැරුනේ ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති සොඳුරු පද රචකයා ගේ උපහාසාත්මක පද රචනයන් පිළිබඳව වචන කිහිපයක් සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි.  මේ සබැඳියෙන් එයට නැවත පිවිසිය හැකිය. මේ ලිපියෙන් එතුමා මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ප්‍රතිභාපූර්ණිත ගායකයාට ලියැවුණ සොඳුරු පදවැල් කිහිපයක් ඔබහට ගෙන ඒමට අදහස් කරමි.

අසූව දශකය මිල්ටන් මල්ලවාරච්චි ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟ සිටි දශකය වශයෙන් හැඳින්වීම නිවැරදි යැයි මට හැඟේ. හැත්තැ තුන හැත්තැ හතර කාලයේ ඉමහත් ජනාදරයට පාත්‍ර වුණ සැණකෙලිය චිත්‍රපටය මිල්ටන් ප්ලේබැක් සිඟර් (Playback Singer) හෙවත් චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස කරළියට ගෙන ආ චිත්‍රපටය යැයි කීවොත් නිවැරදිය. එහි "‍රැයක් උපද්දා.. හිරු ඈත්ව යන්නා" සහ ඉන්ද්‍රාණි පෙරේරා සමග ගැයූ "සමනල රෑනක් සේ.. අනන්ත හැඟුම් මැවේ" යන ගී යුගලෙහි ජනප්‍රියතාව මෙයට සාක්ෂි සපයයි. මතකයේ ඇති පරිදි සංගීත අධ්‍යක්ශණය පැට්‍රික් දෙනිපිටිය විසින් කෙරිණි. ඉන්පසු අසූව දශකය මුල සිට මිල්ටන් ගේ ජනප්‍රිය යැයි සම්මත බොහෝ ගීත ලියූවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාය. එයිනුත් බොහෝ ඒවා වික්ටර් රත්නායක හා ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ සංගීතයෙන් හැඩවී තිබිණ.

පහත දැක්වෙන්නේ ඉහත කරුණු සඳහා ජීවමාන උදාහරණ කිහිපයකි...

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ

මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස ‍රැකගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක

------------------------------------------------------------

 

දිනෙක රන්සළු පළඳා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි පෙම් දෝලාවෙන්

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
ගෙවුණු යවුවන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස ‍රැහැණින් බැඳදා පවුරූ
සතුට දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරූ

වියලි මග මහවැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙන තුරු සියොළඟ කළු සලු පොරවා
ඔබය දියයුතු හිස්වන විට දිවි විත පුරවා

ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක

  ------------------------------------------------------------

සමනළ සමනළියන් මැද්දේ අද සඳක් වගේ මුහුණේ
විසිරෙන හස‍රැල් යුවතිපතින්නේ දොලොස් මහේ පහනේ

භවයින් භවයට සසරින් සසරට පැතූ පැතුම් දහසයි
සුරතින් සුරතට අත් පැන් වත්කොට ලැබූ උදම් දහසයි
එකම කැදැල්ලක ලැගුම් ලබන්නට වරම් ලැබූ දවසයි
වරම් ලැබූ දවසයි

ඔබ ඔහුගේ වෙයි ඇය ඔබගේ වෙයි දෙහදක් අද එක්වෙයි
මධුමල් මංගල මල් ඕවිල්ලට අද පුරහඳ පායයි
දිගුකල් අත්වැල් බැඳ වැජඹෙන්නට සැම දෙවි ‍රැකවරණයි
සැම දෙවි ‍රැකවරණයි

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

බඹරෙකු වන්නට නොහැකිව ළතවෙන
මා අබියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළතවෙන
මා අබියස ඔබ සයුර නොවේ

ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

ප්‍රේමකීර්ති- ක්ලැරන්ස්

  ------------------------------------------------------------

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනා මැද ඉ‍ටුවේවි නම්
ආයෙ නාවත් කම් නෑ ඉතින්

කෝ එද ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ
නෑ මගේ හිත අන් කෙනෙක් ගැන කීවදෝ නැති දෝ

මාළිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැඳවා
වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා

ප්‍රේමකීර්ති - පැට්‍රික් දෙනිපිටිය

  ------------------------------------------------------------

එදා රෑ ගුවන් තො‍ටුපළේදී මා
වෙන්වී ගියේ
සිතකින් නොවේ

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරී සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

මේවන තුරු රහසක් වීලා
මාසිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ළතවුණේ

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනිවෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අත පැන් වත් කර
ඔබ කැඳවා යන්නම්
නැති නම් තනිවෙන්නම්

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනිවෙන්නම්

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

 

මේ සියළු ගීත වලටම පොදු වූ එක් කරුණක් තිබේ. ඒ යෙදූ පදවැල් වල සරල ස්වභාවයයි. සරල වුවද අරුත් රසය හා ශබ්ද රසය ගැන කවර කතාද.. ඒ ඒ අකලට මිලින කළ ප්‍රතිභාවේ මහිමයයි....

මිල්ටන් මල්ලවාරච්චි ගැන ලියැවුණ බැවින් පහත සටහනත් මේ ලිපියටම ඇමිණීමට තීරණය කළෙමි.

මිල්ටන් මල්ලවාරච්චි සංගීතයට පිවිසෙන්නේ කණ්ඩායම් ගායකයෙකු ලෙසයි. ලා සිලෝනියන්ස් ලෙස හැටේ දශකයේ ප්‍රකටව තුබූ කැලිප්සෝ හා බයිලා මිශ්‍ර ආරකට ගී ගැයූ කණ්ඩායමේ නියාමක ගායකයෙකු හැටියට මිල්ටන් වේදිකාවට පිවිසියේය. පහත සබැඳිය ලා සිලෝනියන්ස් ගී කිහිපයකට ඔබව යොමු කරනු ඇත.

http://www.infolanka.com/miyuru_gee/art/la_ceylonians.html

සැණකෙලිය චිත්‍රපටයට පෙර මිල්ටන් පූජිතයෝ (1972) නැමැති චිත්‍රපටයට ද පසුබිම් ගායනා සැපයූවේය. "සක්වල රත්වන" ගීතය එහිදී එම් එස් ප්‍රනාන්දු සමග ගැයීය. මුල් පිටපත පහතින් නැරඹිය හැකිය.

ඒ මිල්ටන් මල්ලවාරච්චිගේ සිනමා ආගමනය සනි‍ටුහන් වුණ අයුරුයි...

“ඈතින් ඈතට” චිත්‍රපටයට ගැයූ “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා” ගීය ඔහු  සරසවි සම්මාන ලාභියෙකු කිරීමට සමත්විය.

මාතෘකාවට අදාළ නොවුණත් මෙකරුණු පැවසූයේ මතකයට ආ බැවිනි. මාතෘකාවට අදාළ නොවනදේ ලිවීම පිළිබඳව සමාව අයැදිමි...මිල්ටන් මල්ලවාරච්චි ගැන පසුවට තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තුවෙමි...

 

Coming Up

ප්‍රේමකීර්ති දේශපාලන කවි ලියයි....

Saturday, October 16, 2010

Wimal Weerawansa with Flashback | ෆ්ලෑෂ්බැක් සමග විමල් වීරවංශ

මීට පෙරදී සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ වීඩියෝවක් ඔබට ඉදිරිපත් කළා මතක ඇති. අමතක නම් මෙතනින් බලලා එන්න පුළුවනි. මෙන්න ෆ්ලෑෂ්බැක් සමග විමල් වීරවංශ මහතා දවසක් පැළ නැති හේනේ ගීතය ගායනා කළ අයුරු...

 

Wednesday, October 13, 2010

The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 02| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය

 

සිංහල ගීතයේ අරුත්බර උපහාසාත්මක පදවැල් ගෙතීම් වලදීත් ප්‍රේමකීර්ති නාමය මං සලකුණු කිහිපයක් සටහන් කිරීමට සමත්විය. සිංහල සිනමාවේ විකට රජු ලෙස විරුදාවලිය ලත් ෆ්‍රෙඩී සිල්වා ජනප්‍රිය stand-alone (සිංහල වදනක් මතකයට නොඒ, කමන්න) ගායකයෙකු ලෙස කරළියට පැමිණෙන්නේ ප්‍රේමකීර්තිගේ පදවැල් කිහිපයක් සමගිනි. ඒ කැසට් පටය හැත්තෑව අග හා අසූව දශකය මුල දී අතිශය ජනප්‍රිය වීය. මතකයේ හැටියට ඒ කැසට් පටය නම් කොට තිබුණේ "කකුළුවා" ලෙසයි. ගී දුසිමෙන් හතක් හෝ අටක් වැනි ප්‍රමාණයක් ප්‍රේමකීර්ති රචනා කර තිබූ අතර වික්ටර් රත්නායකයන් ඒ බොහෝ  තන්හි සංගීතය සපයා තිබූ වග මතකය (මතකය කියන්නේ මතක නැත, මම අසූවේ දශකය හරි මැද උපන්නෙමි, දෙමව්පිය උරුමයෙන් ලද කැසට් පට තොගය නිසාත් පියා හා මව් හොඳ රසිකයන් නිසාත් දනිමි) .

ෆ්‍රෙඩී සිල්වා මුලින්ම ගුවන්විදුලියට පැමිණෙන්නේත් අංකුර ගායකයෙකු ලෙසට ඉදිරියට යෑමට බව මෙහිදී මතක් කිරීම වටී.  ඉන් පසු ඔහුම රඟපෑ චිත්‍රපට වල පසුබිම් ගායනයට සම්බන්ධ වීය. එකල ඉන්දීය ආකෘතීන් අනුසාරයෙන් තැනුණු බොහෝ නිර්මාණයන්හි වීරයා, පෙම්වතිය ළඟට සිටින බොහෝ විට වීරයා ගේ මිතුරා වන විකටයා චරිතය නිරූපණයෙහි ලා ෆ්‍රෙඩී ගේ හැකියාව ඉදිරි ලිපියකින් (කතෘ ට වේලාව හා මතකය තිබුණහොත් පමණක්) ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

කුණ්ඩුමනී මුල් ගැයුම... ෆ්‍රෙඩී සිල්වා (1972)

මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නී
කුණ්ඩුමණී . . .
නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .
සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .
ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කොම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .
සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .

හඬ - ෆ්‍රෙඩී සිල්වා
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: වික්ටර් රත්නායක

 

ප්‍රේමකීර්තිගේ බස හැසිරවීමේ කුසලතාවයට ඉතා හොඳ උදාහරණයක් මේ ගීතය සපයන්නේ නොවේදැයි කතෘට සිතුනේ වරක් දෙවරක් නොවේ. සහෝදර දමිළ ඇවතුම් පැවතුම් හා විවාහ මංගල්‍යය අවස්ථාවක් සිංහලයාට තේරෙන බසින් ඉදිරිපත් කර තිබන අයුර ප්‍රසංශනීයයි. වික්ටර් රත්නායක මහතා මේ ගීයට යොදාගෙන ඇති දකුණු ඉන්දීය හා ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සංගීතමුසුව  මගින් මේ ගීතය වර්ණවත්වී තිබෙන අයුරු අගය කිරීම වටී. මෙහි තාලය කාවාඩි නර්තන වලට යොදාගන්නා නර්තන තාලයක් ඇසුරු කරගෙන තනා ඇත්තේය.

ප්‍රේමකීර්ති හා වික්ටර් ගේ පහත නිමැයුම නරඹන්න...

හාස්‍යට අමතරව සමාජයට වැදගත් පණිවුඩයක් ද මේ ගීයෙහි අඩංගුවෙයි.

“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා...
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා....”

මීට අමතරව ෆ්‍රෙඩී සිල්වා ගැයූ “අලුත් කලාවක් සොයාගත්ත මං දියුණුවෙන්න ඕනෑ නම්.. නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සං..* ”, "දන්නෝ දනිති" ගී ද මෙයට එක්විය යුතුය...

(*සංගීතය - ගලගෙදර එම් එම් ඒ හක්, සුජීවා චිත්‍රපටය)

මීළඟට ...

මිල්ටන් මල්ලවාරච්චි ප්‍රේමකීර්ති හා වික්ටර්….

 

අදාළ සබැඳුම්..

මුල් කොටස

http://blogvampa.blogspot.com/search/label/Premakeerthi%20De%20Alwis

http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html

Monday, October 11, 2010

Ran Banda Senevirathne Finale- රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් දිගහැරුම

 

අවසන් වශයෙන් මා මතකයට නැගෙන්නේ ළඳුනේ හා මාරියාවේ යන ගී දෙකයි.  මාරියාවේ ගීය ගැන මා පෙරදී ගුණදාස කපුගේ ගැන ලියූ සටහනක ඇතුලත් කලෙමි. ඒ වෙත සබැඳුමක් පහතින් දක්වා ඇත.

මාරියාවේ - රණ්බන්ඩා සෙනවිරත්න

ළඳුනේ ගීයට පාදක වූ කතාව බොහෝ දෙනා දන්නවා ඇතැයි සිතමි. මේ ගැන අප සරසවියේ "සරසවි ගී සිසිල" නැමැති සංගීත වැඩසටහනට පැමිණි අමරසිරි පීරිස් කලාකරුවාණන් පැවැසූ වදන් කිහිපයක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි. එය මාගේ මතකයට අනුව බැව් සැලැකුව මනාය.

 

"මේ ගීතය ලියූවේ  රණ්බන්ඩා සෙනවිරත්න මහත්තය, රණ්බන්ඩා මහත්තය සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවක් හමුවෙන්නට ගිහින් තියෙනව. ඔයිට පස්සෙ ඒ යාලුවො එක්කම දළදා මාලිගාවට ආපු වෙලාවක අර ගැහැණු කෙනත් මාලිගාවට ඇවිත් තියෙනව එයාගෙ ළමයි දෙන්නත් එක්ක. මේ වෙලාවෙදි රණ්බන්ඩා මහත්තය ඒ ගැහැණු කෙනාත් එක්ක හිනාවෙලා කතා කරන්න යන්න හදල තියෙනව.. මේ වෙලාවෙදි යාලුවො අහල තියෙනව
"උඹට ලැජ්ජ නැද්ද බන් මේ දවල් වේස ගෑනුත් එක්ක කතා කරන්න...?"

අමරසිරි පීරිස් - සරසවි ගී සිසිල - මොර‍ටුව විශ්වවිද්‍යාලය

අබිරූපිකාවක නටබුන්
සමග තම දෙදරුන්
දේවාල නුගේ වෙත ඇවිදින්
කම්මුල් තෙම තෙම මතකින්
අගමුල සොයනව සුසුමින්

ඉස ගිනිදෝ කුස ගිනිදෝ ලිප ගිනිදෝ
ඔබෙ රුව තැව්වේ
ගැරහිලි දෝ කෙනහිලි දෝ දස වද දෝ
ඔබෙ වත දැව්වේ

ඉස්සර ඔබ මෙන් දිලිහෙන ළඳ කඳ
ඔබේ ගෙදර ගිනි තිව්වේ
ඇයි ළඳුනේ ඇයි මව්නේ
ගහකින් පිහිටක් හෙව්වේ
ගහ ගලකින් පිහිටක් හෙව්වේ

හිනා නොවන නාඬන දරු දෙන්නා
ඔබේ මුහුණ දෙස බලා සිටී
ඔබ සිතිජය දෙස බලා සිටී

රණ්බන්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි

ඊට පස්සෙ තමයි මේ ගීතය බිහිවුණේ....

ළඳුනේ ………. ළඳුනේ ………….
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ


පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය -ප්‍රේමසිරි කේමදාස
ගායනය  - අමරසිරි පීරිස්

 

පුපුරු ගහන වචන වලින්
පුළිඟු නැගෙන බැලුම් තුලින්
මගේ අතීතය අමතනු ඇයිදෝ

වැරදි කෙරුන සිරුර ‍රැගෙන
හසර නොදැන සිතින් අමන
මා බිරියක වීම වැරදි දෝ

එසේ නොවුන බිරියක නම් වෙනස  කෙබඳු දෝ

දරු දෙදෙනක මවක වීමි
රෝස උයන් නොබලා
උයා පිහා සෝදා මැද
ගෙදර රකිමි සැමදා

ඔබ බඹසර ‍රැක්කේ දැයි
නාසමි මම කිසිදා
මගෙ දෙවිඳුනි සැතපෙනු මැන
සැප සම්පත් වළඳා

බවෙන් බවේ පසුපස එමි
වෙනෙකෙකු වෙත නොරඳා
යසෝදරාවක් වන්නෙමි
මගෙ හිමි බුදු වෙනදා

රණ්බන්ඩා සෙනවිරත්න - හිතේ දුකට කියන කවි

මෙවන් සොඳුරු නිමැයුම් ‍රැසක් කළ අලුත්කඩේ උසාවියේ අධි නීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහතා 2002 දී අප අතරින් සමුගත්තා. මෙතුමා ගුණදාස කපුගේ මහතා සන්ෆ්ලවර් සමග කල කැසට් පටවල තිබූ ඔහුගේ නිර්මාණ වෙනුවෙන් නීති මගින් කටයුතු කළ බවත් ප්‍රසිද්ධ කරුණක්.

http://blogvampa.blogspot.com/2010/07/sunflowers-with-gunadasa-kapuge-true.html

එතුමාට නිවන් සුව ලැබේවා.....

අදාළ ලිපි..

http://blogvampa.blogspot.com/search/label/Ran%20Banda%20Senevirathne

http://blogvampa.blogspot.com/search/label/Gunadasa%20Kapuge

රණ්බන්ඩා මහතා මලියදේව විදුහලේ පැවැත්වූ කථාව

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_16.html

http://tikakhinawenna.blogspot.com/2010/09/02.html

http://tikakhinawenna.blogspot.com/2010/09/03.html

http://tikakhinawenna.blogspot.com/2010/09/blog-post_23.html

Disclaimer

අධික වැඩ කටයුතු මධ්‍යයේ වුවත් මේ දිගු ලිපි මාලාව ලියැවෙන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොගය ලියන සහෘද අභීත එදිරිසිංහ මහතාගේ යෝජනාවක් හා අදහසක් මතයි. මෙයට ලැබෙන තුති වලින් කොටසක් ඔහුට නිසැකයෙන්ම හිමි විය යුතුයි. සියලු චෝදනා වල වගකීම් මා විසින් දරනු ලැබේ. වාක්‍ය නොගැලපීම් හා අක්ෂර වින්‍යාස ගැන නොසැලකුවෙමි, දෙවනි වර නොකියැවූයෙමි.

සෙනවිරත්න මහත්තය ගැන මගේ දැනීම එතරම් හොඳ නැති වුවත් ඇසූ දු‍ටු හා සොයාගත් දේවල් මගින් මේ ලිපිය ගොනු කළෙමි. වැරදි ඇත්නම් නිවැරදි විය යුතු අයුර කොමෙන්‍ටුවක් ලෙස දමා යන්නේ නම් හෝ blogvampaඇට්gmailඩොට්com ලිපිනයට දන්නවන ලෙස ඉල්ලාසිටිමි. සියලුම වගකීම් ලිපිය නිවැරදි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඇවිරේ. ලිපියේ ඇති අදහස් මාගේ මතයට අනුව බැව් සැලකුව මනාය.

Friday, October 8, 2010

නවතින්න මාලිගාවේ ….. සීදේවි නේනු මා ගේ ….. | Mage Mandri Nam | from Wessanthara Nuurthi by John De Silva

image 

සිංහල සංගීතයේ සර්වකාලීන යැයි හැ‍ඟෙන සෑම කල්හිම ගැයු ගීත  ඇත්තේ ස්වල්පයක් නොවේ. එහෙත් මේ ඒ සියල්ල අබිබවනය කරන්නක් යැයි මට අනන්ත සිතී ඇත.  මාතෘකාව කියැවූ ඔබ සැම ගීතය හොඳින් දන්නාවග මම දනිමි. නමුත් මේ ගීය ප්‍රතිභාපූර්ණ ගායක ගායිකාවන් දහසයකට දහ අටකට ආසන්න ප්‍රමාණයක් පබැඳුනු සමයේ සිට මේ දක්වා ගයා ඇති වග බොහෝ දෙනා නොදන්නාවග දනිමි.

එකදාස් නවසිය මුල් ගණන් වල, වෙනත් වචන වලින් කියනවානම් ටවර් හෝල් යුගයේ අතිශයින්ම ජනාදරයට පාත්‍රවූ ඒ නිර්මාණය මේ සමග ඔබට පිළිගන්වමි. මුල් ගායනය කවුරුන් විසින් කළේ දැයි දැන ගැනීමට නොමැත. මේ ගීතය ඇතුලත් වූයේ නීතිඥ ජෝන් ද සිල්වා මහතා විසින් නිමැයුනු වෙස්සන්තර ජාතක නූර්තියේය.

සූවිසි ලක්ෂයක් වටිනා ආභරණයෙන් සැරැසුණු, සර්වාංගයෙන් ධවල වැසි වස්වන මහත් අනුභාව ඇති දුර්ලභ හස්තියා දන් දුන් හෙයින් නගරවාසීහු කිපෙති. ඔවුහු වෙසතුරු රජු ගේ පියාණන් වූ සඳමහරජාණන්ට පවසනුයේ “වෙස්සන්තර රජ්ජුරුවන් දඟගෙයි ලත් නො පිළිවනැ, දිවිගනුත් නො පිළිවනැ, අප ගෙ රට මැ හිඳැ අප නැසූ තෙනැත්තන් රටින් දුරු කොටැ වංකගිරිපර්වතයට යවනු මැනැවැ, අද ම යවනු මැනැවැ” යනුවෙනි.

වෙසතුරු නිරිඳු මද්‍රි දේවි අමතා පවසන්නේ ‘මා වනයට ගිය යි දළ සෝ දුකින් නො තැවී සුව සේ ජීවත් වන්නැ’ යි යනුවෙනි. ඉක්බිති මද්‍රි දේවි ශෝක ගින්නෙන් තැවෙමින් කඳුළු වගුරමින් “නුඹ වහන්සේ ගෙන් වියෝ ව ජීවත් වීමට වඩා නුඹ හා කැටි ව මිය යෑම උත්තම යැ “යි පවසන්නී ය. ඕ තොමෝ වෙසතුරු රජු ගේ මෑණියන් කී බසට ද මෙ සේ පිළිතුරු දෙන්නී ය. “මා ගෙ ස්වාමීන් හා වල වසන්නෙ ගම වසන්නාට වැඩි සුව යැ, කැටි වැ ගමන් යන කලැ ගෙහි හුන්නා වැනි යැ”

- උපුටාගැනුම බුත්සරණ ගද්‍ය කාව්‍යයෙනි.

සිය හිමියා අත් නො හැර, දිවි දෙවනු කොට ඔහු හා එහැම පීඩා ඉවසා දිවි ගෙවන, එහෙත් එකෙකා පිළිබඳ අවබෝධයෙන් යුතු කතුන් දකින කල මද්‍රි දේවිය ගේ උදාර ජීවන වෘත්තාන්තය හිතලුවෙකැ යි බැහැර කළ නො හැකි ය *.

මගෙ මන්ද්‍රි නම් බිසෝ ගේ
යාච්ඥාවෙ බෝ ය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ්‍ර වාසේ
හිමාල දේශ දේවී

හාමත් ව ඉන්ට වේ මැයි
බෝ දුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මා ගේ

ගෙයි පාන නෑ ගියෝතින්
මම් අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරා ගේ
ඒ වාස මාගෙ වාසේ

බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේ වී

ගීත

අමරදේව මාස්ටර්

දයාරත්න රණතුංග හා අමරා රණතුංග

වික්ටර් රත්නායක හා කුමාරි මුණසිංහ

අමරසිරි පීරිස් හා නිර්මලා රණතුංග (ගුරු ගෙදර චිත්‍රපටය -රඟපෑම් රවින්ද්‍ර රන්දෙණිය හා යශෝධා විමලධර්ම)

කෝලිත භානු දිසානායක  හා දීපිකා ප්‍රියදර්ශනී

කිත්සිරි ජයසේකර

සුදත් සමරසිංහ - මැණිකේ අත්තනායක

සමහර ගීත මවිසින් පටිගත කරන ලද ඒවාය (කැසට් පට හා ගුවන්විදුලියෙන්). දුර්වල ශ්‍රවණ තත්වය ගැන සමාව අයැදිමි.අවසන් පිටපත ටවර්හෝල් රඟහල අඩවියෙනි.

 

හැබෑට මොකක්ද හොඳ? හොඳම එක?
ජය....!!

 

එකම ගීය දෙදෙනක් ගැයූ අයුර ගැන මවිසින් පෙරදී ලියන්නට යෙදුන ලිපිය මෙතැනින්...

http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

 

 

(* සිළුමිණ පුවත්පත)

Wednesday, October 6, 2010

The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 01| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය - පළමු දිගහැරුම

 image

රණ්බන්ඩා සෙනවිරත්න මහත්තය ගැන ලියැවෙන අතරතුරේදීම මේ ලිපි මාලාවත් පටන්ගත්තාට සමාව අයැදිමි. මීට බොහෝ කලකට පොරොතුව ප්‍රේමකීර්ති හා වික්ටර් රත්නායක ගැන ලියමි යැයි ඔබට පොරොන්දු වූවා මතක ඇතැයි සිතමි. මවිසින් ලියන්නට යෙදුන ලිපියක් මීට පෙර මට වඩා හොඳින් සහෝදර බ්ලොග්කරුවකු වන අභීත එදිරිසිංහ මහතා විසින් ලියන ලද අතර ඒ වෙත පහත සබැඳියෙන් පිවිසිය හැක.

 

http://tikakhinawenna.blogspot.com/2010/07/blog-post_27.html

 

මේ ලිපි මාලාවත් පෙර සේම ගීත ඇතුලුව අසා දැනගත් හා ජාලගතව සොයාගත් කරුණු කැටි කොට ලියැවෙන්නකි. එසේ හෙයින්  සමහර කරුණු වල විශ්වසනීයත්වය පිළිබඳව භොතික සාධක මා සතු නොවන්නට පිළිවන. එහෙත් සැබෑවට සිදුවුනි යැයි මා අසා ඇති, මාගේ මතකයේ පවතින දේ කිසිවෙකුගේ කිසිවකට හානි නොවන අයුරින් පැවසීමට උදක්ම උත්සාහ ගනිමි.ඌණපූරණ ලිවීමට කොමෙන්ට් තීරය විවෘත කොට ඇත. ගීත ඔබගේ පුද්ගලික රස වින්දනය සඳහා පමණක් ඒ යොදාගනු ඇතැයි කතෘ උදක්ම බලාපොරොත්තු වෙයි.

ප්‍රේමකීර්ති වැඩිපුරම ගීත ලියා ඇත්තේ මට යැයි වික්ටර් රත්නායක මහතා පුවත්පතකට පවසා තිබෙනු දුට වග මතකයේ ඇත. ඒ කෙසේ වතුදු ප්‍රේමකීර්ති ගේ සුපිරි බස හැසිරවීමේ හැකියාව ප්‍රබුද්ධ රසිකයා හමුවේ නිරාවරණය වූයේ නම් වික්ටර් ගේ ගීත වලින් වග පැහැදිලි සත්‍යයකි. මේ ගැන කතෘ මේ ලිපි පෙළ පුරාවටම උදාහරණ දක්වනු ඇත. මෙවැනි වූ ප්‍රබල වූ වෙනත් සුසංයෝග ගැන කීමේදී දැනට කතෘ මතකයට නැ‍ඟෙන්නේ රණ්බන්ඩා + කපුගේ, සුනිල් ආරියරත්න + නන්දා මාලිනී හා සේකර + අමරදේව යන ත්‍රිත්වය පමණෙකි.  බුද්ධිමත්හු මා නිවැරදි කොට අමතක වූවන් පෙන්වා දෙත්වා.

රණ්බන්ඩා සෙනවිරත්නයන් සේම ප්‍රේමකීර්ති ද නිර්මාණ වලට වස්තුබීජ සපයාගත්තේ ඔහුගේ පුදගලික අත්දැකීම් වලිනි. සිය දිවියේ සැප සතුට හා දුක් දොම්නස් එක ලෙසම ගීතයනට යොදාගෙන ඇති ආකාරය ඔහු සතුව තිබූ අපරිමිත ප්‍රතිභාව මොනවට පැහැදිලි කරන අදටත් ජීවමානව වැජඹෙන සාක්ෂිකරුවෝ වැන්න.

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ . .. . . .

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . . .

නා ගසක් දලු දමා වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . . .

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ . .

අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායකimage

අරුත් පසිඳලීම අනවස් යයි සිතමි. ඉතා හැඟුම්බර චිත්තරූප මැවීමට සමත් ඉහත ගීතයට යොදා ඇති සරල පදවැලම ප්‍රේමකීර්ති ගේ නම අමරණීය කිරීමට තරම් ප්‍රමාණවත් යැයි කතෘට සිතුන වාර අනන්තය. 

 

 

ආදර ගඟුලෙහි ඉවුරෙ ‍රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම්කලූ

මල්වැල් වන විල් පිරී ගියේ
සෙවන දෙවන්නලූ
බිඟුනද විහඟුන් ඉගිල්ලුනේ
මෙහිම ‍රැ‍ඳෙන්නලූ
පුන්සඳ නැගුනෙත් අහස් තලේ
අපිට බලන්නලූ
දෙනෙතක කඳුලැලු තුරුල් කලේ
පෙමට හඬන්නලූ

මීවද මී පැණි පිරී ගියේ
දෙතොලෙ ‍රැ‍ඳෙන්නලූ
දේදුනු ඕවිලි නැවීගියේ
නුවන පිනන්නලූ
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැණික් මලූ

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

මේ ගීයට යුග ගායනයෙන් දායක වන්නේ ශ්‍රීමතී තිලකරත්න මහත්මියයි.

සරසවි දිවියේ ලබන සොඳුරු අත්දැකීමක්  ප්‍රේමකීර්ති අතින් පදවලට නැඟී ඇති අයුරු බලන්න.

මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්

ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා
දඟකාරකම් කරමින් නෙත් පියන්න ඉඩදෙන්නෑ

නේවාසිකාගාරේ
පොත් අතර ‍රැඳී ඔබ අකුරු කියූවද
කිසිවක් මතකයෙ නො‍රැ‍ඳෙන බව දනිමී
ඔබෙ සිත මගෙ ළඟ හින්දා

ඔබේ සිතට ඔබ කියන්න මිහිරිය ආපසු එන්න කියා

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

වික්ටර් රත්නායකයන්ගේ "ජනප්‍රිය" යැයි සැලකුම් ලබන ගී සියල්ලක්ම වාගේ ප්‍රේමකීර්ති ගේ අකුරින් බස් ටිකට්, දිනපොත් කවර, පත්තර වාටි වල සටහන් වූ ඒවාය.

ආදරයේ උල්පත වූ අම්මා (මුල් පිටපත - ඇත්තේ කොටසක් පමණි)

(කැසට් පටයකින් පටිගත කරන ලද්දක් නිසා ශ්‍රවණ තත්වය ගැන සමාව අයැදිමි)

 

ආදරයේ උල්පත වූ අම්මා (නව පිටපත)

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දියකොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවිලි ගීයෙන්
මතකයි මා නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණදී
මා දැඩි කළ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් සේ
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන්සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

 

පද- ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- වික්ටර් රත්නායක

 

තව ලිවිය යුතු වූවත් කාල වේලා ප්‍රස්න නිසාවෙන් නවතිමි. විශේෂයෙන් "ආදරයේ උල්පත" ගැන....!!!

මෙතැන හොඳ එකක් තියෙනවා බලාගෙනම යන්න...

http://cyberyaya.blogspot.com/2010/10/blog-post.html

Coming Up

රණ්බන්ඩා සෙනවිරත්න - අවසන් කොටස

ප්‍රේමකීර්තිගේ උපහාසාත්මක ගී කලාව...

LinkWithin

Related Posts with Thumbnails