Wednesday, June 23, 2010

නිකන් දෙන අස්සයගෙ දත් හෙවත් නිදහස් අධ්‍යාපනය | The Free Education in Sri Lanka

බොහොම හොඳ ලිපියක් මම දැක්ක අපේ ජංජාල චාමරගෙ බ්ලොග් එකේ, කොහොමද රටේ අධ්‍යාපන ක්‍රමය සිසුන් ගේ ජීවිත වල දෙවසරක් අනුභව කරන්නේ කියලා.. නිදහස් අධ්‍යාපනයත් මේකට ගාවගෙන තිබුණා.. නිකන් දෙන අස්සයගෙ දත් ගණන් කරනවා කියලා කොමෙන්ට් එකක. මේකට මම පොඩි ඌණ පූරණයක් කරන්නම්.

දැනට නිදහස් අධ්‍යාපනයක් නොමැති තැන්වල  ඒ සිදුවන ආකාරය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. 

මුලින්ම කියන්නම්, අස්සයා හම්බෙන්නේ නිකන්ම නෙවෙයි. ජනතාවගේ බදු මුදල් වලින් ජනතාවට දත් හැලිච්ච අස්සයෙක් දුන්නා මිස!

චාමර ඉදිරිපත් කර තුබූ ඉතා වැදගත් වැකියක් උපුටා දැක්වීමට කැමැතියි.

--------------------------------------------------------------------

ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.
ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කලමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.
   

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?
   

මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

---------------------------------------------------------------------

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නැති බොහෝ රටවල කිසිම කෙනෙකුට ඉගනගන්න බාධාවක් නැත...! සල්ලි තිබුණත් නැතත් ඉගනගැනීමට සියලු දෙනාටම පුළුවනි.

දැන් බලාවි මේ මොකක්ද කියන්න යන්නේ කියලා, සල්ලි දීලා ඉගනගන්නේ කොහොමද සල්ලි නැති අය.. ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක.

මේකයි, හරිම සිම්පල් ප්ලෑන් එකක්. ඉගනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා ණය මුදලක් ලබා ගැනීමට පුලුවන්. මෙමගින් ස්වයංක්‍රීයව අධ්‍යාපන ආයතනයේ මුදල පියැවෙන අතරම සිසුවාට මාසිකව ජීවත් වීමට වේතනයක් ද ලැබෙනවා. මේ මාසික වේතනය සිසුවාගේ පවුල මත වෙනස් වෙනවා. විවාහකයෙකුට (විවාහක සිසුවෙක්, හෝ සහකරුවෙකු සමග වෙසෙන්නෙක්) වැඩි මුදලක්, අවිවාහකයෙකුට අඩු මුදලක් ලෙස.

මේ වේතනයෙන් බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙමාපියන්ට බරක් නොදී. බොහෝ රටවල මෝටර් රථයක් පවා පාවිච්චි කිරීමට මේ මුදල ප්‍රමාණවත්.

‍රැකියාවක් කරන තුරු තමන්ට අවශ්‍යපමණ ඉගන ගත හැකියි (ශාස්ත්‍රපති, දර්ශනපති උපාධි පවා), සියලු වියදම් ණය දෙන ආයතනය (බොහෝ විට රාජ්‍ය හා පුද්ගලික බැංකු එකමුතුවකි) මගින් දරණු ලබනවා.

‍රැකියාවක් ලැබීමෙන් පසුව කොටස් වශයෙන් අවුරුදු 20 -30 වැනි කාල පරාසයකට යටත්ව ණය මුදල ගෙවාදැමිය හැකියි. තමන්ගේ වේතනය අනුව මාසික වාරිකය සකසා ගත හැකියි.

මේ ණය පොළී රහිත ණයක්, නමුත් සිසුවා පිට රටක ‍රැකියාවකට ගියොත් මේ ණය සඳහා පොළී අය කිරීමක් කරනු ලබනවා.

දැන් මේ ක්‍රමයේ තිබෙන වාසි අවාසි සලකා බලමු.

වාසි:

  1. සිසුවා ඉගනගැනීමට යොදවන්නේ තමාගේ ම මුදල්, ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ මෙන් නොව හොඳ අධ්‍යාපනයක් සඳහා අවශ්‍යම කරන මෝටිවේශන් එක සිසුවා සතුව තිබෙනවා.
  2. රජය ට ඉතා හොඳ ආයෝජනයක්!
  3. දෙමව්පියන්ට සිසුවාගේ අධ්‍යාපනයට මුදල් යෙදැවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ.
  4. සිසුවා කැමැති විශයන් ගෙන් ඉදිරියට යා හැකියි, මුදල පිළිබඳ ගැටළුවක් නෑ.
  5. අධ්‍යාපන ආයතන සතුව මුදල් පවතිනවා, එම නිසා ඒවා ආයෝජනය කර නවතම තාක්ෂණික මෙවලම් ඉගැන්වීමට යොදාගන්න පිළිවන්.

අවාසි:

  1. රජයට මුලින් විශාල මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කරන්න සිදුවෙයි.
  2. අදාළ පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක වන තෙක් ඒ පිළිබඳ සොයා බැලීමට සිදුවෙයි.

ඔබලාගේ අදහස් කොමෙන්‍ටුවක් වශයෙන් තබා යන්න, මට දැනට මතකයට එන්නේ මෙපමණකි.

අද සිදුවන නාස්ති හා අක්‍රමිකතා අවම කලහොත් පළමු අවාසිය යම්තාක් දුරට මගහරවා ගන්න පුලුවන්. ඒත් රට කරවන්ට දැන උගත් මිනිසුන් පහළවන තුරාවට දෙවැන්න මහා බාධකයක් වෙනු නො අනුමානයි.

වැම්පයර් ගේ සිතුවිලි වලට අනුව මේ වැඩේ ලංකාවෙ කරන්න බැරිත් ඒ නිසාම තමයි.

පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ත් වැම්පයර් ගේ ඇත්තේ ධනාත්මක ආකල්පයක්. ඒ ගැන කෑ කොස්සන් ගහන උදවිය ඒ කරන්නේ පැහැදිලි ඉරිසියාවට හා කුහක කමට. තත්ව පාලනයක් සියලු තන්හි තිබිය යුතුයි. ඒත් මේ ලොව සියලු තන්හි සාර්ථකව පවත්වාගෙන යන පුද්ගලික අධයාපන ආයතන ගැන බොරු හුඹස් බියක් ඇතිකරගෙන නගුට පාගාගෙන කෑගසන්නට යාමෙන් වන්නේ "අදුරේ වුවද කෑ මොර දෙන්නේ ගවයෙකි" යන්න අවට ලෝකයට පසක් වීමයි.

සිදුවිය යුත්තේ උම්බෑ ගැම නොව රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි තත්වය වැඩිදියුණු කරන ලෙසට රට කරවන ඇත්තන්ට පැවැසීමයි. ඒත් එතනත් පොඩි අවුලකි. 

ඒ ඉන් සමහරුනට "විශ්ව විද්‍යාලය" යන වදන පවා නොතේරීමට ඇති ඉඩකඩයි!

අදාල සබැඳි

http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html#comments

http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html

 

Disclaimer
මෙයින් නිදහස් අධ්‍යාපන ක්‍රමය විවේචනය කිරීමට හෝ ඒ ගැන කරුණු දැක්වීමට අදහස් කරන්නේ නැත. 

නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්නට, නැත්නම් අද මම නැත!

ජය...

වැම්පයර්

6 comments:

  1. නමුත් සහෝ දැනට රජය ගෙන එන්නට තතනන පුද්ගලික විශ්ව විද්‍යාල සංකල්පයට ඔබ සඳහන කිසිදු කරුණක් අදාල නොවේ. රජය සැරසෙන්නේ පිටරට විශ්ව විද්‍යාල ශාඛා මෙහි ස්ථාපිත කිරීමට පමණි. ඉන් රටට සිදුවන යහපතක් නැත. ඒ ප්‍රවේශයට මම තරයේ විරුද්ධ වෙමි. කළ යුත්තේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය වැඩි දියුණුකොට ඇවැසි සැමට දැනුම ලබාගත හැකිසේ විවෘත කිරීමයි. (විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳ බොහෝ විවේචන මට ඇත. මෙය එයට තැන නොවේ෴)

    ReplyDelete
  2. ඒ විශ්ව විද්‍යාල වල තත්වය උසස් නම් ඉන් වන හානිය කුමක්ද? මා දන්නා පමණට ලංකාවේ හොඳම තැන ලෙස සැලැකෙන මොර‍ටු සරසවිය ලෝකයේ මුල් සරසවි 2500 අතරේ වත් නෑ. 2500ට පහලින් ඇති බොහෝ සරසවි තමන්ගේ ශාකා වෙනත් රටවල දාන්න යන්නේත් නෑ.

    පිටරට ශාකා මෙහි දැමීමෙන් අයහපතක් සිදුවන්නේ කෙසේද?

    ප්‍රතිචාරයට ස්තුතියි.

    තවත් දෙයක්! බම්බලපිටිය ආයතනයක මුල් වසර හදාරා මොනෑශ් සරසවියට ඇතුලු වෙන්න පුලුවන්. මොනෑශ් සරසවිය ටොප් 100 අතරේ තිබෙන හොඳ සරසවියක්.

    June 23, 20

    ReplyDelete
  3. ඕව ගැන නම් කියන්න දේවල් ගොඩයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වැම්පයර් සමඟ මාත් එකඟයි!මම හිතන්නේත් පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය , භීතිකාවක් කර නොගෙන , අභියෝගයක් ලෙස භාර ගැනීම තමයි වඩාත් සුදුසු!

    මෙතනදි අදාල නිළධරයන්ගේ අවධානය යොමු කළ යුත්තේ රජයේ විශ්වවිද්‍යාල තුල ඇති පහසුකම් වැඩිදියුණුකර , ඒවායේ විෂය නිර්දේෂයන් ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම , සහ රජයේ විශ්වවිද්‍යාලවල ලෝක සම්මත ප්‍රමිතිය ඉහල නැංවීම!

    එහෙම කළොත් විතරයි ලාංකීය සමාජ තුල ,නිදහස් අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය තවදුරටත් රඳවාගන්න පුළුවන් වෙන්නේ!

    නමුත් , මෙය සිදුවන බවක් පෙනෙන තෙක් මානයක නැත!
    එයයි අවාසනාව!

    ( දිගුකාලීන ණය ක්‍රියාවලිය දැනටත් ලංකාවේ ක්‍රියාත්මකයි නේද?මූලික උපාධිය වෙනුවෙන් නැතිවුණත් , පශ්චාත් උපාධි වගේ වැඩිදුර අධ්‍යාපනය ලබන්න ඔය ක්‍රමය තියෙනවා මම දන්න තරමින්.[ වරාය අධිකාරියේ නං 100%ක් විශ්වාසයි ඔය ක්‍රමය තියෙනවා.එය ආයතනික වශයෙන් දිගුකාලීන අයෝජනයක්! ] )

    ReplyDelete
  6. සියලු දෙනාගෙ අදහස් වලට ස්තුතියි.

    චාමර, වරායේ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල ඕක තියනවා, ඒත් මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි. ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් නොමැතිකම!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails