Thursday, October 21, 2010

ප්‍රේමකීර්ති මිල්ටන් මල්ලවාරච්චිට ලියූ ගී... | Milton Mallawarachchi’s Songs written by Premakeerthi

 

අවසන් ලිපියෙන් දිගහැරුනේ ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති සොඳුරු පද රචකයා ගේ උපහාසාත්මක පද රචනයන් පිළිබඳව වචන කිහිපයක් සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි.  මේ සබැඳියෙන් එයට නැවත පිවිසිය හැකිය. මේ ලිපියෙන් එතුමා මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ප්‍රතිභාපූර්ණිත ගායකයාට ලියැවුණ සොඳුරු පදවැල් කිහිපයක් ඔබහට ගෙන ඒමට අදහස් කරමි.

අසූව දශකය මිල්ටන් මල්ලවාරච්චි ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟ සිටි දශකය වශයෙන් හැඳින්වීම නිවැරදි යැයි මට හැඟේ. හැත්තැ තුන හැත්තැ හතර කාලයේ ඉමහත් ජනාදරයට පාත්‍ර වුණ සැණකෙලිය චිත්‍රපටය මිල්ටන් ප්ලේබැක් සිඟර් (Playback Singer) හෙවත් චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස කරළියට ගෙන ආ චිත්‍රපටය යැයි කීවොත් නිවැරදිය. එහි "‍රැයක් උපද්දා.. හිරු ඈත්ව යන්නා" සහ ඉන්ද්‍රාණි පෙරේරා සමග ගැයූ "සමනල රෑනක් සේ.. අනන්ත හැඟුම් මැවේ" යන ගී යුගලෙහි ජනප්‍රියතාව මෙයට සාක්ෂි සපයයි. මතකයේ ඇති පරිදි සංගීත අධ්‍යක්ශණය පැට්‍රික් දෙනිපිටිය විසින් කෙරිණි. ඉන්පසු අසූව දශකය මුල සිට මිල්ටන් ගේ ජනප්‍රිය යැයි සම්මත බොහෝ ගීත ලියූවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාය. එයිනුත් බොහෝ ඒවා වික්ටර් රත්නායක හා ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ සංගීතයෙන් හැඩවී තිබිණ.

පහත දැක්වෙන්නේ ඉහත කරුණු සඳහා ජීවමාන උදාහරණ කිහිපයකි...

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ

මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස ‍රැකගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක

------------------------------------------------------------

 

දිනෙක රන්සළු පළඳා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි පෙම් දෝලාවෙන්

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
ගෙවුණු යවුවන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස ‍රැහැණින් බැඳදා පවුරූ
සතුට දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරූ

වියලි මග මහවැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙන තුරු සියොළඟ කළු සලු පොරවා
ඔබය දියයුතු හිස්වන විට දිවි විත පුරවා

ප්‍රේමකීර්ති ද අල්විස් - වික්ටර් රත්නායක

  ------------------------------------------------------------

සමනළ සමනළියන් මැද්දේ අද සඳක් වගේ මුහුණේ
විසිරෙන හස‍රැල් යුවතිපතින්නේ දොලොස් මහේ පහනේ

භවයින් භවයට සසරින් සසරට පැතූ පැතුම් දහසයි
සුරතින් සුරතට අත් පැන් වත්කොට ලැබූ උදම් දහසයි
එකම කැදැල්ලක ලැගුම් ලබන්නට වරම් ලැබූ දවසයි
වරම් ලැබූ දවසයි

ඔබ ඔහුගේ වෙයි ඇය ඔබගේ වෙයි දෙහදක් අද එක්වෙයි
මධුමල් මංගල මල් ඕවිල්ලට අද පුරහඳ පායයි
දිගුකල් අත්වැල් බැඳ වැජඹෙන්නට සැම දෙවි ‍රැකවරණයි
සැම දෙවි ‍රැකවරණයි

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

බඹරෙකු වන්නට නොහැකිව ළතවෙන
මා අබියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළතවෙන
මා අබියස ඔබ සයුර නොවේ

ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

ප්‍රේමකීර්ති- ක්ලැරන්ස්

  ------------------------------------------------------------

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනා මැද ඉ‍ටුවේවි නම්
ආයෙ නාවත් කම් නෑ ඉතින්

කෝ එද ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ
නෑ මගේ හිත අන් කෙනෙක් ගැන කීවදෝ නැති දෝ

මාළිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැඳවා
වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා

ප්‍රේමකීර්ති - පැට්‍රික් දෙනිපිටිය

  ------------------------------------------------------------

එදා රෑ ගුවන් තො‍ටුපළේදී මා
වෙන්වී ගියේ
සිතකින් නොවේ

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරී සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

මේවන තුරු රහසක් වීලා
මාසිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ළතවුණේ

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනිවෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අත පැන් වත් කර
ඔබ කැඳවා යන්නම්
නැති නම් තනිවෙන්නම්

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනිවෙන්නම්

ප්‍රේමකීර්ති – ක්ලැරන්ස්

  ------------------------------------------------------------

 

මේ සියළු ගීත වලටම පොදු වූ එක් කරුණක් තිබේ. ඒ යෙදූ පදවැල් වල සරල ස්වභාවයයි. සරල වුවද අරුත් රසය හා ශබ්ද රසය ගැන කවර කතාද.. ඒ ඒ අකලට මිලින කළ ප්‍රතිභාවේ මහිමයයි....

මිල්ටන් මල්ලවාරච්චි ගැන ලියැවුණ බැවින් පහත සටහනත් මේ ලිපියටම ඇමිණීමට තීරණය කළෙමි.

මිල්ටන් මල්ලවාරච්චි සංගීතයට පිවිසෙන්නේ කණ්ඩායම් ගායකයෙකු ලෙසයි. ලා සිලෝනියන්ස් ලෙස හැටේ දශකයේ ප්‍රකටව තුබූ කැලිප්සෝ හා බයිලා මිශ්‍ර ආරකට ගී ගැයූ කණ්ඩායමේ නියාමක ගායකයෙකු හැටියට මිල්ටන් වේදිකාවට පිවිසියේය. පහත සබැඳිය ලා සිලෝනියන්ස් ගී කිහිපයකට ඔබව යොමු කරනු ඇත.

http://www.infolanka.com/miyuru_gee/art/la_ceylonians.html

සැණකෙලිය චිත්‍රපටයට පෙර මිල්ටන් පූජිතයෝ (1972) නැමැති චිත්‍රපටයට ද පසුබිම් ගායනා සැපයූවේය. "සක්වල රත්වන" ගීතය එහිදී එම් එස් ප්‍රනාන්දු සමග ගැයීය. මුල් පිටපත පහතින් නැරඹිය හැකිය.

ඒ මිල්ටන් මල්ලවාරච්චිගේ සිනමා ආගමනය සනි‍ටුහන් වුණ අයුරුයි...

“ඈතින් ඈතට” චිත්‍රපටයට ගැයූ “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා” ගීය ඔහු  සරසවි සම්මාන ලාභියෙකු කිරීමට සමත්විය.

මාතෘකාවට අදාළ නොවුණත් මෙකරුණු පැවසූයේ මතකයට ආ බැවිනි. මාතෘකාවට අදාළ නොවනදේ ලිවීම පිළිබඳව සමාව අයැදිමි...මිල්ටන් මල්ලවාරච්චි ගැන පසුවට තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තුවෙමි...

 

Coming Up

ප්‍රේමකීර්ති දේශපාලන කවි ලියයි....

9 comments:

  1. මෙවා බං ජාතික පුවත්පත්වල යන්න ඔන ලිපි...

    ReplyDelete
  2. අතිවිශිෂ්ඨයි වැම්පයර් අයියේ....කියලා වැඩක් නෑ....
    අයියා දාලා තියෙන්නේ මම කැමතිම ගීත හතක්.සුන්දර අතීතයකට හිත ගියා.ඇත්තමයි අයියේ.ඉස්සර එයාට මම කියන සිංදු වලින් "සුන්දරත්වයෙන් පිරි සොදුරුම සිහිනේ......." කියන සිංදුව මගේ ආත්මේ වගේ.ඒ තරම්ම මම ආසයි.ඒ හන්ද වෙන්න ඇති හැමදාම ඇයට කියන ගීත වල මේකත් අඩංගුවෙන්න ඇත්තේ‍.හික්ස්.

    අර මාරයියා කියපු කතාවට නම් මසුරන් කටට දැම්මත් මදි වගේ.
    අද කාපේ පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කවුද ප්‍රේමකීර්තිද අල්විස් කියලා දන්නෑ කියලා කියයි.ඇයි ඒ? රූපවාහීනී නාලිකාවල බැලුවත් පත්තර වල බැලුවත් තියෙන්නේ මීනිමැරම් මංකොල්ල දේශපාලන විගඩම් ඔව්වා තමයි.කෝ සාහිත්‍ය? කෝ අපේ ඉතිහාසය? කෝ අපේ හැකියාවන්? කෝ අපේ මල් තියලා වදින්න ඕනි මිනිස්සු? මේ මුකුත් නෑ.
    මේවා කතාකරනවට වඩා හොදයි කට ගලේ උලාගන්න එක.
    අයියේ උඹනම් ඇත්තටම පෙරපිනකට පහල වෙච්ච එකෙක්‍.අපේ විතරක් නෙවේ මේ රටේම.
    සුභ පතනවා අයියේ හදවතින්ම අපි නොදන්න බොහෝදේ ඉදිරියටත් මේවගේ ලියන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා...

    ReplyDelete
  3. ඇඩෙනවා මේව දැක්කාම...බලන්න ඒ වචන...කොහෙන් එනවද මන්දා...අපිට නන් තියන ඔක්කොම ශබ්ද කෝශ ටික අතට අරගෙනත් අවුරුද්දක් විතර යයි ඔයවගේ එක පේලියක් ලියන්න.
    බොහොම ස්තූතියි ඔබේ මහන්සියට.

    ReplyDelete
  4. niyamai machan niyamai...:)..

    ReplyDelete
  5. මමනම් මිල්ටන් මල්ලව ආරච්චිගෙ සින්දුවලට කැමතිම නෑ.ඉරාජ් ඊටවැඩිය හොදයි.

    ReplyDelete
  6. මූඩ් ගහල ඉන්න මටම හැදුව සිංදු ටිකක වගේ
    නියමෙට හිතට වැදුනා . එලම කිරි මචං

    ජයවේවා !!

    ReplyDelete
  7. මගේ ප්‍රියතම ගායකයෙක්..!!

    මේසිංදු අහනකොට ඕන කෙනෙක් මනෝ ලෝකේ අතරමං වෙනවා.. ඒ තරම් වින්දනාතමකයි....

    [හසිය කියපු කතාවට එකඟයි මමත්...]

    ReplyDelete
  8. මූ නම් ජාතික වස්තුවක් තමයි.. අනාගත කොම්පියුට‍රයක ලකෂණ පහල වෙමින් පවතී (මට ‍කොම්පියුටරේ නම මතක නෑනේ :( ) ලස්සන තීම් එකක් ‍එහම දාල තියෙන්නේ.. ජයවේවා... (ටිකක් පරක්කු වුනා මේ පැත්තෙ එන්න.)

    ReplyDelete
  9. Champion Fantastic specially on cold winter Friday you took me again to my school life .

    He is great talented singer which can sing to our hearts.He also surround by very organised
    composers and group

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails