Thursday, November 11, 2010

කවුද බන් ඩෝල්ටන් අල්විස් කියන්නෙ? | Who the hell is Dolton Alwis?


මෑතදී මාගේ මිතුරෙකු හා මා අතර ගූගල් ටෝක් චැට් සංවාදයක් සිදුවුණා. එහිදී මාගේ මිතුරා මා'තින් ගී පද රචකයන් හා ගායකයින් ගැන ලියැවුණු ලිපි ගැන ඔහුගේ ප්‍රසංසාව පුදකළා. පහත දැක්වෙන්නේ ඒ දෙබසේ සිංහල පරිවර්තයක්..

මිතුරා: උඹ කොහොමද මේ වගේ දේවල් මතක තියාගන්නේ?
මම: මතක තියාගන්නේ නෑ බන්. පත්තර වල යන දේවල් පොත් වල තිබුණ ඒව බුක්මාර්ක් කරගෙන තමයි ලියන්නෙ. තව ටිකක් ලියන්න ඕන පරණ අයගැන, ඩෝල්ටන් අල්විස් වගේ.
මිතුරා: ඈ.. කවුද බන් ඩෝල්ටන් අල්විස් කියන්නෙ?

දෙබසට පෙර සත්‍ය වශයෙන්ම මසිතේ ඩෝල්ටන් අල්විස් ගැන ලිවීමට සිතක් නොතිබුණ නමුදු දෙබසින් පසුව එතුමා ගැන වදනක් ලිවීම්ට සිතක් පහලවීය. මේ කෙටියෙන් දිගහැරෙන්නේ එයයි.

ඩෝල්ටන් අල්චිස් නම මුලින්ම ඇසෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවක මණ්ඩලයෙනි. නිත්‍ය කවියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවක මණ්ඩලයේ ‍රැකියා කරන අතරතුරයි ගී පද රචකයෙකු ලෙස ඩෝල්ටන් අල්විස් නාමය කරළියට පැමිණෙන්නේ.කොළඹ ආනන්ද විදුහල් ආදි සිසුවෙකු වූ ඩෝල්ටන් අල්විස් ගේ හැකියා හඳුනාගෙන ඔහු ගුවන් චිදුලියට ගෙන ඒමේ ගරුත්වය ගුවන් චිදුලි ළමා පිටිය මෙහෙයවූ "සිරි අයියා' හෙවත් යූ.ඒ.එස්. පෙරේරා මහතාට හිමිවිය යුතු වන්නේය. ඩෝල්ටන් අල්විස් නාමය හුදී ජනතා සිතට රිංගෙන්නේ ඔහු විසින් ලියැවුණ දේශාභිමානී ගීත නිසා බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයක්. දේශාභිමානය ලයාන්විතව පදවලට නැඟීමට ඔහු තරම් දක්ශයෙක් කතෘගේ දැනුමට අනුව මෙතෙක් පහළ වී නැත. බුද්ධිමත්හු මා නිවැරදි කරත්වා.

තවද පාලි සංස්කෘත වදන් මෙන්ම කවියට ගීයට නුසුදුසු යැයි බොහෝදෙනා විශ්වාස කරන "මහප්‍රාණ" වදන් වැල් සිය නිර්මාණ වලට නොපැකිල යොදාගත් ඩෝල්ටන් විසින් පතළ කෙරුණු ඔහුගේ ප්‍රතිභාවෙන් කතෘ විශ්මයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. පණ්ඩිත් අමරදේවයන් ගයන පහත පදවැල මේ අවස්ථාවේ මා මතකයට නැඟේ.

අභිසම්බෝධි ඥණයෙන්
පංච මාර සේනා පැරදූ
ලෝක නාථ පා පංකජ වන්දේ

මෝහ මාන භව තණ්‌හා
ජාති ජරා මරණ ශෝක කඳුළින්
එතෙර වැඩිය මුනි වන්දේ වන්දේ

ලෝක තිවංකර ගෞතම මහමුණි වන්දේ

අභිසම්බෝධි ඥණයෙන්
පංචමාර සේනා පැරදු
ලෝක දිවාකර
මහ මුණි වන්දේ*

පහත යොමු ඩෝල්ටන් අල්විස් විසින් රචිත දේශාබිමාණී ගී කිහිපයකට ඔබ යොමු කරනු ඇත.


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි - පණ්ඩිත් අමරදේව
සසර වසන තුරු නිවන් දකින තුරු - පණ්ඩිත් අමරදේව
උඩඟු ලියන් ගොතා බඳින - විශාරද නන්දා මාලිනී
රන් දහඩිය බින්දු බින්දු - පණ්ඩිත් අමරදේව (මේ ගීතය ලියැවී තිබෙන්නේ ගුවන්චිදුලි සංස්ථාවෙන් සජීවීව පැවැත්වූ ගී රචනා තරඟයකදීයි)

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ - වික්ටර් රත්නායක (පිටස්තරයා ගේ කොමෙන්‍ටුවෙන් වැඩි විස්තර ලබාගන්න)

ඩෝල්ටන් අල්විස් අතින් ලියැවී ඇත්තේ දේශාභිමානී ගී පමණක්ම නොවේ. ආදර ගීත ද නො අඩුව ඔහුගේ පෑනින් කඩදාසි මත සනි‍ටුහන් වී තිබේ.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ශෙල්ටන් පෙරේරා
කවුරුදෝ අර කවුළුවෙන් - සනත් නන්දසිරි
කුණ්ඩලකේශී - පණ්ඩිත් අමරදේව
තුං තුඹ මල් - චන්ද්‍රාණි ගුණවර්ධන

බකිණි ගහේ බකිණි මලෙන් - එඩ්වඩ් ජයකොඩි, පුණ්‍යා කත්‍රිආරච්චි


හදවත! උඹ මගෙන් අවි ඉල්ලන්න එපා
මේ හඳ එළිය ඇති, ගිනි දල්වන්න එපා
කවි ලියනා මගෙ අත අල්ලන්න එපා
සාමයෙ බිළිඳු නිදි, ඇඳ හොල්ලන්න එපා

සාමය- ඩෝල්ටන් අල්විස්- 1984 සමස්ත ලංකා කාව්‍ය තරඟාවලිය - ප්‍රථම ස්ථානය


පීදෙන හෙළ රන් ගොයමේ
සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා
නව සිහිල සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි


නැවත හමුවෙමු....


* ගීයේ පිටපතක් සොයාගැනීමට අසමත්වීමි. පදවැල් දිනමිණ පුවත් පතේ පලවූ ලිපියකිනි.

10 comments:

  1. ඩෝල්ටන් අල්විස් ගැන හොඳ කතාවක් තියෙනවා ප්‍රේමදාස ජනාධිපතිවරයත් සම්බන්ධ වුන. කටකතාවෙ හැටියට ඩෝල්ටන් අල්විස් පොඩ්ඩකට ෆයිල් එක වෙන කාගෙද අතකට දීපු වෙලාවක කවියක් එතනින් අරගෙන තමන් ලියපු එකක් විදියට ප්‍රේමදාස ලඟට ගෙනිහින් තියෙනවා. ප්‍රේමදාස එයාගෙන් අවසර අරගෙන ප්‍රේමදාස ලියපු එකක් විදියට ගුවන් විදුලියේ ප්‍රචාරය කරල තියෙනවා.

    සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
    සාගර මහා වැව් බැන්දේ නුඹයි පුතේ
    දාගැබ් පිළිම ඉදි කෙරුවේ නුඹයි පුතේ
    පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

    මේක අහපු ඩෝල්ටන්ගේ කවිය ගැන දැනගෙන හිටපු ඒ කාලේ රංචාගොඩ ලමයා තීරුව ලියපු ලේඛකයා ඒ කවිය පහල විදියට වෙනස් කරලා දාලා තියෙනවා. වැඩි විස්තර බූන්දියෙ තියෙනවා.

    සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
    සාගර මහා වැව් බැන්දේ ඩෝල්ටන්
    දාගැබ් පිළිම ඉදි කෙරුවෙත් ඩෝල්ටන්
    පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=SOOK&ArtID=932

    ReplyDelete
  2. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. මට ඒ ගීය අමතක වෙලා තිබුණෙ. පෝස්ට් එක එඩිට් කරන්නම් ඒකත් දාල.. නැවතත් ස්තුතියි....

    ReplyDelete
  3. මේ වගේ වටිනා කියන මිනිස්සු ගැන නොදන්නා උන්ට කියලා දීම ලොකු දෙයක් වැම්පෝ.

    ReplyDelete
  4. ඩෝල්ටන්ව නොදන්න එකා අල්ලං හම ගහන්න එපැයි.. අපේ නම් ඉස්කෝලෙ සිංහල පොතෙත් තිබුනා මතකයි ඩෝල්ටන් ගැන. මේ ඩෝල්ටන් ගැන සොයාගත හැකිවූ ජාල සංස්කරණ කිහිපයක්.

    සිරිලාල් කොඩිකාර ඩෝල්ටන් අල්විස් සීගිරි ගලේ කවි ලියපු හැටි ගැන කියපු හැටි.
    http://www.dinamina.lk/2009/02/17/_art.asp?fn=f0902174

    මේ එතුම ගැන දිවයිනේ පළවුනු ලිපි දෙකක්.
    http://www.divaina.com/2009/07/31/cineart02.html
    http://www.divaina.com/2010/07/30/cineart05.html

    පලි.
    ඔය ඩොල්ටන් කෙමිස්ට්‍රි වලටත් දක්‍ෂයි නොවැ. මේ ඩොල්ටන් ඉදිරිපත් කරපු නියමයක්. ඩෝලටන් කවි ලියපු බව දන්නැති අය නියම ඉදිරිපත් කරපු බව නම් දන්නවා ඇති.
    http://en.wikipedia.org/wiki/Dalton%27s_law

    (මේ අර ගීතයෙ "යශෝ කැලුම් වර දූතිය" වෙන්න ඕන.)

    ReplyDelete
  5. උඹ කොහෙන්ද බං මෙව්ව හොයා ගන්නෙ.කියල වැඩක් නෑ ...සුපිරියි.......

    ReplyDelete
  6. මම නං අහල තියෙන්නේ ඩෝල්ටන් ට බාගයක් දීලා ප්‍රේමයාම ඕක ලියව ගත්තා කියලයි.
    ප්‍රේමයා ගේ නවකතා ලිව්වෙත් අජන්තාය කියලා කියනවා නේද?
    -කකා

    ReplyDelete
  7. මචං .... උඹගෙ ලිපි අපි කියවමින් ඉන්න වෙලාවෙ එම ලිපියෙ වම් පැත්තෙ .. මෙන්න මේ විදිහට දිස් වෙනව
    Tweet / f Share / Buzz / Submit /
    ඒක ලිපිය කියවන අපිට හරිම කරදරයක්..
    ඒක එතනින් අයින් කරල වෙන තැනකට සෙට් කරන්න බැරිද ..? [ලිපියෙ අකුරු උඩ දිස් වෙන්නෙ නැති විදිහට ..]

    ReplyDelete
  8. ම‍ටත් ඔය වගේ අද්දැකීමක් තියනවා. කැම්පස් එකේ කැන්ටින් එකේ දවසක් තේ එකක් බිබි ඉන්න කොට රූපවාහිනී සජීවී සංවාදයක රූපරාමු වගයක් කැන්ටිමේ රූපවාහිනියේ විකාශය උනා. වටේ ගෝසාව නිසා එකේ හඬ පැහැදිලි නෑ. සංවාදයේ කතා කර කර හිටියේ නිශ්ශංක දිද්දෙණිය. මම මගේ ළඟ හිටිය යාළුවාට පෙන්නුවා.
    "අන්න මචං නිශ්ශංක දිද්දෙනිය කතා කරනවා"
    එතකොට යාළුවා.
    "ඒ කවුද බං ?....ආ...ගිය සැරේ සුපර්ස්ටාර් උනේ ?"

    මට ඔව් කියනවා හැර වෙන කියන්න දෙයක් තිබුණේ නෑ

    ReplyDelete
  9. උබේ මේ පැරනි ගායකයන්... ගීත රචකයන්.. ගීත ගැන ලිපි පෙලනම් මාරම වටිනව වැම්පො.

    ReplyDelete
  10. විය යුත්තේ මෙයයි. ජය...
    මමත් උත්සහයක යෙදෙනව.
    www.mathakathotupala.blogspot.com

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails