Wednesday, December 29, 2010

ග්‍රේෂන් ආනන්ද නම් වූ ඔහු.. | Graetian Ananda ….!

image

සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගායනයේ ජෝතිපාල සලකුණෙන් අනතුරුව මගේ මතයට අනුව ජනප්‍රියතම පසුබිම් ගායකයා ග්‍රේෂන් ආනන්ද අබේකෝන් මහතායි. ජෝතිපාල මහතා විජය කුමාරණතුංග ගේ රුවට හඬ මුසු කරද්දී ග්‍රේෂන් ආනන්ද මහතා සනත් ගුණතිලකයන්ට හා සෂී විජේන්ද්‍ර වැනි නළුවන්ගේ පසුබිම් ගීත ගැයීය. සරත් දසනායක මහතාගේ චිත්‍රපට වාද්‍ය වෘන්දයේ ගිටාර් වාදකයෙකු හා ආධුනික කීබෝඩ් වාදකයෙකු ලෙස හැත්තෑව දශකයේ මුළ ඇරඹි ග්‍රේෂන් ගේ කලා ජීවිතය අදින් අවාසනාවන්ත ලෙස අකාලයේ අවසන්වූ වග දැනගන්නට ලැබිණ.

ඈත දුරක දෑස පාවෙලා - නීලා වික්‍රමසිංහ සමග ගායනාකළ ගීතය ග්‍රේෂන් ආනන්දයන්ගේ පළමු ගීතයයි. සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග ගේ පටන් චන්න පෙරේරා හා රෝශාන් රණවක (හරිද මන්දා නම) දක්වා ග්‍රේෂන් තිරය පි‍ටුපස සිට සිය හඬින් නොමද දායකත්වයක් සැපයීය.

ග්‍රේෂන් ආනන්දගේ ජනප්‍රිය ගීත අතර,
හිම රේණු වැටෙනා - ආත්මා චිත්‍රපටය
තරු යායේ ඈතින් ඈතට - බයිසිකලේ චිත්‍රපටය
සිහින අහසේ වසන්තේ
බාලේ පුංචි කාලේ
ඉපදී ලොවේ
තිසරවිලේ - රෝස වසන්තේ චිත්‍රපටය
රැල්ලෙන් රැල්ල
සීතාදෝ - රජ වැඩකාරයෝ චිත්‍රපටය
ආදර සීනුව -ප්‍රමාද වැඩියි ටෙලිනාට්‍යයය
රනින් මාල
අම්මා - රජමැදුර චිත්‍රපටය
අපි කොයි කවුරුත් - අමල් බිසෝ චිත්‍රපටියෙන්
හිම කඳු යහනේ - සසර චේතනා චිත්‍රපටය
කැන්දන් යන්නම් රන් මල් මාලා - ඈතින් ඈතට චිත්‍රපටය
පළිඟු නදී - දේදුන්නේ සමනලියක් චිත්‍රපටය

ඇතුළු අටෝරාසියක් ගීත මතකයට නැගේ. මුදල් පසුපස හඹා නොගිය කලාකරුවකු වූ හෙතෙම කල් ගෙවූයේ කුලී ගෙයක බැව් මීට මාස කිහිපයකට කලින් පලවුන පුවත්පතක මුල්ලක පළවී තිබුණා මතක ඇත. නියම ඇගැයීමක් කිසි කලක ග්‍රේෂන් ට නොලැබුණු වග මාගේ හැඟීමයි. කෙසේවෙතත්.. ග්‍රේෂන්.. ඔබ සැබැවින්ම නියම ආදර්ශවත් කලාකරුවෙක්.. ඒ වගට ලංකාවේ සියළුදෙනා සාක්ෂි දරනවා නිසැකයි.

ඔබට නිවන් සැප...!!

Tuesday, December 28, 2010

සාජන්, හොරා සහ ගල් බෝතලය | Sergeant , Thief and Extra Special Arrack

image

කලින් කියපු වඳුරා රා බීපු කතාව කියාගෙන යද්දි මට තව කතාවක් මතක් වුණානෙ.  මේකත් ඉතින් බේබදු කතාවක්ම තමා. ඔන්න එක කාලෙක හෙන ස්මාට් හොරෙක් හිටියලු. මුගේ ට්‍රික් එක තමා ‍රැට ගමන් බිමන් යද්දි වෙස් වලාගෙන යන එක. එක දවසක් රෑ එකොලහට විතර මූ හාමුදුරු කෙනෙක් විදියට සිවුරකුත් දාගෙන වටපිට බල බල පාරෙ යනවලු බහින්න හොඳ ගෙයක් බල බල. මෙහෙම යද්දි පාරෙ නයිට් ඩියුටි හිටපු සාජන් මහත්තයෙක් ඉස්සරහට හම්බුනාලු. සාජන් මහත්තය මෙයාව දැක්ක ගමන් හිතුවලු මූ නං හාමුදුරු කෙනෙක් වෙන්න බෑ, හොරෙක් තමයි කියලා.

"හාමුදුරුවනේ ... බෑරක්ද? "

"මෙ මෙ.. බ බ බණකට යනවා උපාසක මහත්තයො මම"

"හහ්... හිතුවද මාව අන්දන්න.. රෑ එකොලහට මොන බණද? යමු පොලීසියට" කියල සාජන් මහත්තය හොරාව අල්ලගෙන  පොලිසියට යන්න පටන්ගත්තලු. දැන් දෙන්නත් එක්ක පයින්ම රෑ පොලිසියට යනවලු...

එතකොට හොරා මෙන්න මෙහෙම කිව්වලු...

"රාළහාමි.. මගේ ළඟ ගල් බෝතලයක් තියනව.. දෙන්නත් එක්ක ගහමුද මේ අයිනකට වෙලා"

"අඩෝ.. උඹ හිතුවද අරක්කු වීදුරුවකට ගන්න පුලුවන් කියල මේ මම.. හිතුව මදි... යමන් පොලිසි ...අද කූඩුවෙම තමයි.. අල්ලස් දෙන්නත් එනව මෙතන" කියල සාජන් මහත්තය සිංහනාද කළාලු.

මෙහෙම කෑ ගැහුවට මොකද ටික වෙලාවක් යද්දි සාජන් මහත්තයටත් වැඩේ අප්සට් ලු. ඇයි ඉතින් පින් ශොට් එකක් නෙ. මිනිහත් වැඩි කතාබහක් නැතුව කරබාගෙන හොරා අල්ලගෙන යනවලු.

"අරක්කු වීදුරුවකට ගන්න අපි...!!" සාජන් මහත්තය දුකෙන් ඒත් සිංහනාද පාරක් දැම්මලු.

හොරා දැනගත්තලු දැන් නං ඉතින් වැඩේ හරි තමයි. සාජන්ව බෝතලේට දාගන්න පුලුවන් කියල මෙහෙම ටෝකක් දුන්නලු.

"සාජන් මහත්තය.. සාක්කිත් නෑ නෙ. අපි වැඩේ අල්ලල දාමු.. මෙන්න මේක ඉවරකරලම යමු" කියල බෝතලේ අරගෙන සාජන්ගෙ අතට දුන්නලු.

බෝතලේ දැකපු සාජන් මහත්තයටත් නිකං අර මාලිංගට බැට් එක හම්බුනා වගේ චූන් එකක් ගියාලු. දෙන්නත් එක්ක ළඟ තිබ්බ බෝක්කුවක් ළඟට සෙට් වෙලා අනුමත වෙන්න පටන් ගත්තලු...

කලිනුත් කිව්වනේ හොරා ස්මාට් කියල. මිනිහ කළේ සාජන් මහත්තයට තුන්කාලක් විතර ම නවල දීල මිනිහ ශේප් එකේ තොල ගගා හිටපු එකලු. බෝතලේ ඉවර වෙද්දි සාජන් මහත්තය ෆුල් කට්. හොරත් ඉතින් බොරුවට කට් වගේ ඉන්නවලු.

විනාඩි පහක් ගියේ නෑ..සාජන් මහත්තය ගොරවන්න ගත්තලු. හොරා කළේ තමන් මෙච්චර වෙලා දාගෙන හිටපු සිවුර අරන් ඒක සාජන් මහත්තයට අන්දල, සාජන් මහත්තයගෙ පොලිස් ඇඳුම් ටිකත් අරන් මාරු වෙච්ච එක. මිනිහට රජ පල්ලමනේ. දැන් ඉතින් යුනිෆෝම් පිට හොරකමේ යන්න බැරිය. කොහොමද හොරාගෙ ටිකිරි මොළේ..

කතාව ඉවරයි වගේ වුණාට ඉවර නෑ. උදේ හතරට විතර සාජන් මහත්තයගෙ මූණට පිනි වැටෙද්දි මිනිහට ඇහැරුණාලු. ටිකක් වෙලා යද්දි මතක් වුණාලු රෑ වෙච්චි සිද්ධිය.

සාජන් මහත්තය වෙනසක් වගේ දැනිල ඇඟ පත අතගාල බැලුවලු. එතකොට අහුවුණාලු රෑ හොරා අන්දල ගිය සිවුර.. සාජන් මහත්තය….

"හොර සංගය නං මේ ඉන්නෙ.. මගෙන් පැනල යන්න හිතුව මදි උඹ.. ..හරි. …යමන්” කියල සිවුර හයියෙන් අල්ලගෙන කිව්වලු...

“අම්මට හුඩු..  කෝ යකෝ එතකොට මං? "

ප.ලි:
කතන්දර වැඩිවීම නිසා “බීපු කතා” නමින් අලුත් කැටගරියක් ඇතුලත් කිරීමට සිදුවිය..

Monday, December 27, 2010

වඳුරා රා බීපු කතාව | Monkey &The Toddy Pot



මත්පැන් ගැන කියනවනම් ඉතින් කතන්දර ගොඩක් තියනව කියන්න. මම මීට කලින් කීපයක් කියල තියනව. චූ කරපු කතන්දරේනුවරඑලියට ඇවිද්ද හැටි, වයින් කතා, කබර කතා ඒවායින් කීපයක්. ඉතින් ඔය කතාවල තියන සමානකම තමයි ඕව මිනිස්සුන්ට වෙච්ච කතා වීම. අද කියන්න යන කතාව වඳුරෙකුට වෙච්චි දෙයක්..මේව ඉතින් හොඳ ආදර්ශමත් කතන්දර..

ඔන්න දවසක් වඳුරෙක්ට රා මුට්ටියක් හම්බුනාලු. වඳුරා කොහොමත් විමර්ශණශීලී සතා වෙච්චි. මූ මේක පොඩ්ඩක් කරකව කරකව බැලුවලු මොකක්ද බොලේ මේක කියලා. ටිකකින් කඩවැස්ම පොඩ්ඩක් එහෙමෙහෙ කරල ඇඟිල්ල දාල රස බැලුවලු. නරකම නෑ. වඳුරා ඉතින් රා මුට්ටියම උස්සගෙන ගිහින් තමන්ගෙ ජොයින්ට් එකට වෙලා දෙකක් තුනක් දාගෙන පවනෙ වැනි වැනි ඉන්නවලු.

මෙහෙම ඉන්නකෝට මෙතනට ආවලු වඳුරගෙ පරණ යාලුවෙක්. ක‍ටුස්සා.. ඇවිත් ඇහුවලු..

"මොකද මේ නිකං අද එක විදියක්...?"

"නෑ මචං. පොඩි ඩ්‍රින්ක් එකක් හම්බුනා. මරු .. දාගෙන බලහං" කියල වඳුර උත්තර දුන්නලු.

ක‍ටුස්සත් ආයෙ හෙව්වෙ බැලුවෙ නෑ, ළඟ ළඟම තුන හතරක් නවාගත්තලු. මෙහෙම දෙන්නත් එක්ක අත්ත උඩට වෙලා පවනෙ වැනි වැනි ඉන්නකොට ක‍ටුස්සට හෙන තිබහක් ආවලු. ඌ වඳුරට ඒ බව කියල ගඟ ළඟට ගියාලු වතුර ටිකක් බොන්න. මේ වෙලාවෙ ඉවුර අයිනෙ ඉන්නවලු ගඟේ අයිතිකාරය. තඩි කිඹුලෙක්. සාමාන්‍යයෙන් නම් කිඹුල ළඟපාතක ඉන්නකොට කිසිම සතෙක් ගඟට යන්නෙ නෑ ලු වතුර බොන්න. ඒත් ඉතින් ක‍ටුස්ස දැන් ක‍ටුස්ස නෙවයි නෙ. සිංහය වගේ ගඟ ළඟට ගිහින් වතුර බොන්න ගත්තලු.

මේක දැකපු කිඹුලට මාර අප්සට් ලු. ඇයි ඉතින් ක‍ටුස්සා ඌව ගාණකටවත් ගත්තෙ නෑ නෙ. කිඹුල හිතාගත්තලු මොකද මේ කියල හොයාගන්නවමයි කියල.

"මොකද මේ නිකං අද එක විදියක්...?, වෙනදට මම මෙතන ඉන්නකොට උඹ කිට්‍ටුවෙන්නෙ වත් නෑ නෙ" කිඹුල ඇහුවලු ක‍ටුස්සගෙන්.

ක‍ටුස්ස කිව්වලු "අර වඳුර ළඟ නියම ඩ්‍රින්ක් එකක් තියනව... ඒක බිව්වම ආයෙ බය කියන එක පැත්ත පලාතෙ වත් එන්නෙ නෑ" කියල.

දැන් කිඹුල වඳුරා හොයාගෙන යනවලු මේ ඩ්‍රින්ක් එක ගැන අහන්න. වඳුරා ඈත තියාම දැක්කලු තමන් හොයාගෙන එන අමුත්තව. අමුත්තා දැක්ක විතරයි වඳුරා නඟුට අරගෙන ඇස් පිහිදදා බලනවලු, ඇස් ලොකු කර කර බලනවලු...

කිඹුලා ගහ ළඟටම ආවම වඳුරා කියනවලු....

"මචං.. උඹ මාර වතුර බීමක්නෙ බීල තියෙන්න"

Saturday, December 25, 2010

නත්තල් සීයා, ඉන්ජිනේරු සිසුන් හා වයින් කතන්දර....

 

image

නත්තලකුත් ආවා නේද?

නත්තල කිව්වම අපේ පොඩි උන්දැලටනං කෙලින්ම මතක් වෙන්නෙ නත්තල් සීයා නෙ. ඔය නත්තල් සීයා ඉන්නවා නේද? එයා තමයි ලෝකෙ ඉන්න එකම මනුස්සයා රෑට  රෑට ගෙවල් වලට ඇතුලු වෙලා කට්ටිය නිදිද කියල බලලා යහතින් යන්න පුලුවන්..නැද්ද මං අහන්නෙ..

කෑම ජාති ලිවිල්ලත් තියනව කරන්න.  වෙලාව වෙලාව...!! 

මතකද මන්දා කට්ටියට මම ඉන්ජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ කියලා කතන්දර සෙට් එකක්ම දැම්මා. මතක නැතුව ඇති නේද? මෙතනින් යතෑකි ඕන නං..

http://blogvampa.blogspot.com/search/label/human%20resources

ඔන්න අදත් පොඩි කතන්දරයක්.. ඉන්ජිනේරුවෝ ගැනම තමයි ඉතින්.. වෙන කවුරු ගැන ලියන්නද මේ මං හැබෑට..

ඔන්න ඉතින් ඉන්ජිනේරු සිසුවෙක්  එක දවසක් සිරා ස්කූටර් එකක් පැදගෙන එනවලු. මේක දැකපු පොරගෙ යාලුවා ඇහුවලු (පොරත් ඉතින් ඉංජෙක් ම තමයි)..

"ශහ්.. සිරා ස්කූටර් එක නේ මචං .. ගත්තද? "

එතකොට අපේ කතා නායකයා ස්ටෝරිය දිගාරින්න පටංගත්තලු..

"මාර වැඩක් වුණානෙ මචං.. මම ඊයෙ හවස ගෙදරට ඇවිදගෙන යනකොට අර අල්ලපු ගෙදර ඉන්න කෙල්ල ඉන්නෙ.. ඒ කෙල්ල මේ ස්කූටරෙන් මගේ ඉස්සරහට ඇවිත් , ස්කූටර් එක පැත්තකට දාල එක සැරේටම ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගැලෙව්වනෙ.."

" නෑ.. ඉතින්? "

"ඇවිල්ල කියපි .. Take anything you want !! කියල.. මම ඉතින් ස්කූටර් එක අරගෙන ආව..."

"හරියටම හරි.. නියම තේරීම..කොහොමත් ඔයාට ගෑනු ඇඳුම් හරියන්නෙ නෑ නෙ !! "

ඔන්න ඉතින් කතන්දරේ බලල හිතන්නෙපා ඉන්ජිනේරුවන්ට ඕකත් තේරෙන්නෙ නෑ නෙ කියල.. හරියට බලන්න.. ඉන්ජිනේරු සිසුවෙක් කියල ලියල ඇති...!! පස්සෙ දාන්නංකො ඉංජන්ගෙ තව කතන්දර ටිකක්...

දැන් ඉතින් නත්තල් නිසා කට්ටිය හාෆ් කට් වෙන්න ඕන ඉන්නෙ. මොනවද ඉතින් නේද? පිස්සා නං අවුරුදු 12ක එකක් ගත්තා කියලා පෝස්ට් එකේ දාලම තිබුණා. අවුරුදු 12ක් කියන්නෙ සුළු ප‍ටු කාලයක්ද හැබෑට.  ඔය පරණ කරන ඒව හා ඒ අංශෙ ගැනත් අපි ඉදිරියට කතාකරමු.  මේ කාලෙ ඉතින් කරළියේ තියෙන්නෙ වයින් තමයි.

වයින් ගැන කිව්වම වයින් කියන්නෙ ස්වාභාවික පළතුරු යුශ පැසවීමක් (fermentation) මගින් ලබාගන්නා ඇල්කොහොල් සහිත පානයක්. වයින් කියපුගමන් ඔලුවට එන්නෙ මිදි වුණාට වෙනත් පළතුරුවලින් සෑදූ වයින් (ඇපල්, වයිල්ඩ් බෙරීස්) වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යවහාරයයේදී ඒවා ෆෘට් වයින් ලෙසයි හඳුන්වන්නේ.
වයින් කියන්නෙ සෑහෙන්න ඉතිහාසයක් තියෙන පානයක් නෙ. මුලින්ම වයින් හැදුවෙ ඉරානයෙ කියලයි මම අහල තියෙන්නෙ. මොහන්දෙජාරෝ හරප්පා ශිෂ්ඨාචාර වලත් නයිල් නිම්නයෙත් වැඩේ නැගල ගිහින් තියෙනවලු.
සාකේ වලට කියන්නෙ රයිස් වයින් කියලා සමහරු. මොකද ඒක හදන්නෙ හාල් වලින් නිසා.
ලෝකයේ වැඩිම විවිධත්වයක් ඇති මධ්‍යසාරයත් වයින් මගේ හිතේ. ඉතින් වයින් කිව්වම එක එක විදියෙන් තියෙනවා. සාමාන්‍යයෙන් වයින් බෝතලේක ලේබලේකින් ඒ වයින් වර්ගය ගැන යම් අවබෝධයක් ලබාගන්න පුලුවන්. වයින් වර්ගයේ නම, නිශ්පාදිත රට, නිශ්පාදකයා , ඇල්කොහොල් ප්‍රතිශතය හා නිශ්පාදිත වසර ලේබලයෙන් කෙලින්ම බලාගතහැකි දේවල්. මේ හැරෙන්න වයින් වර්ගයේ රස ගැන අවබෝධයක් ලබාගැනීමට තවත් වැදගත් කරුණු කීපයක් දැන ගත යුතු වෙනවා. මේ අතරින් මිදි වර්ගය හා උප වර්ගය, මිදි වැවුණු ප්‍රදේශය ප්‍රධානයි. අමතරව වයින් body එකත් දැනගත යුතුයි.
පැරණි වයින් වල රසය  ඉහලයි. ඒලෙසම මෘදු ගතියෙන් වැඩියි. සාමාන්‍යයෙන්  7% සිට 25% දක්වා ඇල්කොහොල ප්‍රතිශතයෙන් වයින් ලබාගතහැකියි. වෙළඳපොලේ සාමාන්‍ය වයින් බෝතලයක 12.5%-15% පමණ ඇල්කොහොල් අඩංගුවෙනවා.

බෝතලයක ඩ්‍රයි වයින් ලෙස සඳහන් වූවොත් එහි අදහස සීනි ප්‍රතිශතය අඩු බවයි.

මිදි වර්ග ගැන කතාකළොත් Merlot, Pinot Noir, Sauvignon, Merlot Cabernet, Chardonnay, Cabernet Sauvignon  වැනි මිදි වර්ග වලින් සාදනු ලැබූ වයින් වල රසය ඉහලයි. Merlot, Merlot Cabernet & Chardonnay නං මරු මට.

වයින් බොඩි එක යනුවෙන් සරල වචන වලින් අදහස් කරන්නේ වයින් වල සාන්ද්‍රණයයි. ලයිට් බොඩීඩ් වයින් ඉතා මෘදු වන අතර බොහෝ කාන්තාවන් හා ළමයි ප්‍රියකරන්නේ එයයි. ෆුල් බොඩීඩ් වයින් වල රසය හා වයින් සැර වැඩියි.

එහෙනං .. සුබම සුබ නත්තලක්....

 

P.S.

Please Drink Responsibly

පහුගිය දවස් ටිකේම මේ පැත්තෙ එන්න බැරිවුණා නෙ. අවුරුද්ද අන්තිම නිසා අර රිපෝට් මේ රිපෝට් ප්‍රොජෙක්ට් සමරයිසේශන් අරවද මේවද වැඩ ලෝකයයි. රීඩරේට දාගනිපු බ්ලොග්ස් ටික නං කියෙව්වා ඒත් වරද්දන්නෙ නැතුව. කොමෙන්ට් නොදැම්මට කට්ටිය තරහගන්නෙකක් නෑ කියල හිතනව. ආයෙත් නිල වශයෙන් වැඩ කටයුතු පටන්ගන්න තියෙන්නෙ ජනවාරි 10. එතකං පුලුවන්තරං පරිගණක භාවිතාවෙන් ඈත් වෙන්නයි හිතාන ඉන්නෙ. බලමුකො..

Monday, December 13, 2010

බොම්බේ චිකන් බිරියානි හදමු | How to make Bombay Chicken Biryani

 

image

කලින් කියල දීපු කෑම වලට, විශේෂයෙන් චීස් පැස්ටා එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුණ නේ. අද ටිකක් ප්‍රසිද්ධ කෑමක්. බිරියානි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. ඒත් ලංකාවෙ බිරියානි කියල ගොඩක් තැන් වල තියෙන්නෙ කහ දාපු බතකුයි, බිත්තරේකුයි, බැදපු මස් කෑල්ලකුයි නේ.

ඒක ඉතින් කාටත් කරගන්න පුලුවන් නේ. මම ඔන්න හරියට උගන්නනයි යන්නෙ. කට්ටිය ඉතින් පෑනක් කොලයක් අරගෙන වටවෙන්න හරිය.

දෙන්නෙකුට සෙට් වෙන ගානටයි අද දෙන්නෙ රෙසිපිය.

ඕන දේවල්

බාස්මතී හාල් - ග්‍රෑම් 250-300ක්
චිකන් ග්‍රෑම් 300-400ක්
යෝගට් (රසකාරක නොදැමූ , සිංහලෙන් අන්ස්වීට්න්ඩ් කියල කියන්නෙ) හෝ මී කිරි අඬු කෝප්ප එක හමාරක්
මස් කරි තුනපහ (විදේශගතව සිටින කට්ටිය ඉන්දියන් කඩේකින් ගරම් මසාලා ගන්න, ඒක තමයි ඔරිජිනල් රෙසිපි අයිටම් එක)
ඉඟුරු කෑලි දෙකක් තලලා ගන්න
සුදුළූනු බික් හයක් තලලා ගන්න
රට ළූනු ගෙඩි බාගයක් පොඩියට කපාගන්න
බිත්තර දෙකයි
තෙල් (කලිනුත් කියලා තියනවනෙ, කොලෙස්ටරෝල් නැති එකක් ගන්න)
කුරුඳු කෑල්ලක්
මිරිස් කුඩු
කජු
සෝයා සෝස් (ස්පයිසි සෝයි සෝස් නං හරියටම හරි)
තක්කාලි ගෙඩි එකක් (සාමාන්‍ය තෙම්පරාදුකරන ගානට කපාගන්න)

ක්‍රමේ මෙහෙමයි...

චිකන් ටිකක් ලොකු කෑලි වෙන්න කපාගන්න. බාජනේකට මීකිරි හෝ යෝගට් කෝප්ප එකක්, කහ , තලාගත්තු ඉඟුරු කෑල්ලක්, තලාගත්තු සුදුළූනු බික් තුනක්, ගරම් මසාලා හෝ මස්කරි තුනපහ, මිරිස් කුඩු හා ලුණු කන ගනනට, සෝයා සෝස් පොඩ්ඩක්, දාගෙන කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. මේ පේස්ට් එකේ චිකන් කෑලි ටික බස්සලා හොඳට කෑලි වල ගෑවෙන්න අතගාලා පැය දෙකක් විතර තියන්න සීසන් වෙලා එන්න.  මේකට සිංහලෙන් කියන්නෙ මැරිනේඩ් කරනව කියලා. පැයකට වඩා නම් අනිවාර්යයෙන්ම තියන්න වෙනවා, නැත්නං වැඩේ හරියටම එන්නේ නෑ.

මෙන්න මේ වගේ තියෙන්න ඕන..

DSC00366

 

මේ අතරෙ බාස්මතී බත් උයන්න පටන්ගන්න. ඒකට වැඩිය වෙලාවක් යන්නෙ නෑ. වතුර අඩුවෙන් තියන්න. නැත්නං ඉතින් කිරිබත් වෙනවා. සම්පූර්ණයෙන්ම තම්බගන්න ඕන නෑ. මොකද ආයෙත් තම්බනවනේ. බත හැදෙද්දි කුරුඳු කෑල්ලක්, කහ සහ මස්කරි තුනපහ හෝ ගරම් මසාලා පොඩ්ඩකුත් දාගන්න. මේකට පොඩි වැඩකෑල්ලක් විදියට ග්‍රීන් පීස් දාගන්න (මම නං දැම්මෙ නෑ). කජු ටිකත් දාන්න.

DSC00368

බාජනේකට තෙල් දාල ඉතුරු ඉඟුරු, සුදුළූනු ටික බැදෙන්න දාන්න. තක්කාලි , ළූනු ටිකත් දාන්න. කහ,ලුණු, කුඩු මිරිස්, ගරම් මසාල හෝ මස් කරි තුනපහ දාගන්න. විනාඩි තුනකට විතර පස්සෙ මැරිනේඩ් වෙච්ච චිකන් ටිකත් දාල ඉතුරු යෝගට්/මීකිරි ටිකත් දාල, ගින්දර අඩු කරල වහල චිනාඩි 20-25ක් විතර තම්බගන්න, හැඳි ගාන්න අමතක කරන්න එපා. රසේ හැටියට ලුණු දාන්න. පේස්ට් එක හි‍ඳෙනවා වගේ පේනවා නං වතුර පොඩ්ඩකුත් දාන්න. පොල්කිරි නං වැඩිය හොඳයි.

DSC00371

මේ තියෙන්නෙ. මේ වගේ තියෙන්න ඕනෙ.

චිකන් තැම්බෙන්න ඕන දැන්. තැම්බුනාට පස්සෙ බත් ටිකත් දාගෙන කලවම් කරලා ගින්දර අඩු කරල තව විනාඩි 5ක් තියන්න. 

බිරියානි රෙඩි..

දැන් අර ලිස්ට් එකේ තියන බිත්තර මොක ටද ගත්තෙ කියල ප්‍රස්නෙ එනවනේ. ඒ දෙක තම්බල ගන්න.  ක‍ටු ඇරලා පෑන් එකකට තෙල් දාගෙන රත් වෙද්දි කහ ටිකක් දාල තම්බපු බිත්තර දෙක බැදගන්න.  මෙන්න ‍ෆිනිශ්ඩ් ප්‍රඩක්ට් එක.

DSC00372

අපි නං කෑවා.. කාලම බලන්න. වෙනස වටහාගන්න... :)

DSC00373

 

කලින් දාපු  කෑම ජාති මෙතනින් බලන්න පුලුවන්...

http://blogvampa.blogspot.com/search/label/Recipe

මීළඟ රෙසිපිය බොහෝ විට ඉන්දියානු තාලෙ චිකන් කරියක් වෙන්න පුලුවනි... :)

Sunday, December 12, 2010

මා පැතූ දේ කෝ & උපදින්න ආයේ | Ma Pathu De Ko & Upadinna Aye | H.R. Jothipala

  image

හදට දැනෙන පද ඇඟට දැනෙන්න ගායනා කිරීමට ජෝතිපාලයන් හට තිබුනේ සුපිරි ගණයේ හැකියාවක්. අදටත් මගේ හා බහුතර ලාංකිකයන්ගේ ප්‍රියතම ගායකයන් අතර ඉහලම තලයේ සිටින්නට ඔහුට හැකිවී තිබෙන්නේ ඔහු විසින්  ප්‍රකට කළ ඒ ප්‍රතිභාව නිසාමයි. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා වැනි හැත්තෑව අසූව දශක වල ජයකෙහෙළි නැංවූ පදරචකයන්ගේ රචනා ජනප්‍රිය කරවීමට ජෝති ගේ දායකත්වය අතිමහත්.  පහත ගී කිහිපය මතකයට නඟාගන්නට සමත්වීමි.. බොහෝ දේ මතකයෙන් ගිලිහී ගොසිනි. මතකයට නැ‍ඟෙද්දී සටහනක් තබන්නේ එබැවිනි.

දොලොස් මහේ පහන  වාගෙ- ධර්මසිරි ගමගේ
ආනන්ද සාගරේ - කරුණාරත්න අබේසේකර
සඳ මෝදුවෙලා - ධර්මසිරි ගමගේ
මම ගන්නෙමී කරකාර - ධර්මසිරි ගමගේ
රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ - ආචාර්ය අජන්තා
මනමාලයි මනහාරයි- ආචාර්ය අජන්තා- හිඟනකොල්ලා චිත්‍රපටිය
රත්තරන් පෙම් පුරාණේ- ආචාර්ය අජන්තා

සටහන තැබීමට සිත්වූයේ හදිසියේ මිතුරෙකුගේ අවශ්‍යතාවයකට තැටි ගබඩාව පිරික්සීමේදී ලැබුණු පහත ගීත දෙක නිසයි. ශෝකාලාප ගීයක් මෙතරම් හැඟීම්බරව ගායනාකිරීමට වෙනත් කිසිවෙකු සමත්වේදැයි  මේ ගීත අසන සෑම මොහොතකදීම මා මගෙන්ම අසාගනිමි. ඒ සෑම මොහොතකම ජෝතිපාලයන්ගේ ප්‍රතිභාව ගැන විමතියට පත්වෙමි. නැවතත් අසන්නට සිත්වේ. ඉදින් නැවතත් අසමි..

ජෝති ඔබට නිවන් සුව....

මා පැතූ දේ කෝ
පාළුවී ලෝකේ
මංමුළා වෙන්නේ

නොසිතුදේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ
සිහිනයක් මේ ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

බිඳුණු ආලය පාළු වූසේ
ගොයම නියඟින්නේ
සුවඳ දී කුසුමක් පිපීලා
පරමලක් සේ යන්නෙ පරවී
මා මැරී සුන්වී

 

උපදින්න ආයේ
අතගන්න මාගේ
නැඟිටින්න ඔය නින්ද නොනිදා අනේ
ඔබ ඉන්න ලෝකේ
පවසන්න මිහිරේ
මම එන්නෙමී  දැන්ම හැර ජීවිතේ

පය මාගේ සිඹලා
පිළිගත්තෙ වැඳලා
දෙවියා ඔබයි මාගෙ කියලා
මට ඉන්න කියලා
ඇයි ඉන්නෙ නිදලා
නැගිටින්න මගෙ හුස්ම දෙමි මා

සිහිවෙන්න කියලා
දුන් මුද්ද පළඳා
සිටියා එදා මාව ‍රැකලා
මගෙ වාසනාවන් සුළගේ ගියාදෙන්
හමුවේවා මතු ආත්මයේවත්

 

 http://blogvampa.blogspot.com/2010/07/hr-jothipala.html

ප.ලි.

මේ ලිපියේ අරමුණ වුණේ ජෝතිපාලයන්ගේ වෙනත් "බූට් ගී" අතර මේ ගී දෙක ඉහලින් ඔසවා තැබීම නොවේ. කලකින් පසුව අහම්බෙන් ඇසුණ නිසා බෙදාගැනීමට පමණයි.

ජෝතිපාලට ගී ලියූවන් හා ගීත පිළිබඳ ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි. ධර්මසිරි ගමගේ ගැන ද ලිවිය යුතුය. ඔහු ජෝතිපාලට ගී ලියූවේ "අඳබාල ගීත ලියනවා" යැයි එකල සිටි ප්‍රබුද්ධ විචාරක දෝශාරෝපණ නොතකමිනි. අජන්තා රණසිංහට පීචං ලේබලය ඇලවී තිබිණි. ඒ ගැන පසුව කතාකරමු..

Tuesday, December 7, 2010

නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක !

මීට කාලෙකට කලින් මතකනේද අර කොල්ලෙක් සුචඳ මට දී සින්දුව වෙන වෙන වොයිස් වලින් කියල සෑහෙන්න ජනප්‍රියවුණ වීඩියෝ එකක් තිබුණා. මෙන්න එයාගෙම තවත් එකක්. වීඩියෝවෙ තත්වය නම් එච්චර සතු‍ටුදායක නෑ. ඒත් සද්දෙ නරක නෑ. අහලම, නෑ බලලම බලන්නකෝ.



පරණ එක බලල නැත්නං මේං ඒකත්.

මීට කලිනුත් මේ වගේ ඒව කීපයක් දැම්ම මතක විදියට..

රූකාන්ත - හෝම් මේඩ්
සන්ෆ්ලවර් - සජිත් ප්‍රේමදාස
ෆ්ලෑශ්බැක් - විමල් වීරවංශ
පියානෝ බයිලා


ප.ලි.

ජාමෙ බේරගන්නයි මෙහෙම එකක්වත් දාන්නෙ. හරිහමන් එකක් ලියන්න වෙලාවක් කලාවක් නැහැනෙ.  හ්ම්ම්..




ජය.. වැම්පයර්

LinkWithin

Related Posts with Thumbnails