Sunday, December 12, 2010

මා පැතූ දේ කෝ & උපදින්න ආයේ | Ma Pathu De Ko & Upadinna Aye | H.R. Jothipala

  image

හදට දැනෙන පද ඇඟට දැනෙන්න ගායනා කිරීමට ජෝතිපාලයන් හට තිබුනේ සුපිරි ගණයේ හැකියාවක්. අදටත් මගේ හා බහුතර ලාංකිකයන්ගේ ප්‍රියතම ගායකයන් අතර ඉහලම තලයේ සිටින්නට ඔහුට හැකිවී තිබෙන්නේ ඔහු විසින්  ප්‍රකට කළ ඒ ප්‍රතිභාව නිසාමයි. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා වැනි හැත්තෑව අසූව දශක වල ජයකෙහෙළි නැංවූ පදරචකයන්ගේ රචනා ජනප්‍රිය කරවීමට ජෝති ගේ දායකත්වය අතිමහත්.  පහත ගී කිහිපය මතකයට නඟාගන්නට සමත්වීමි.. බොහෝ දේ මතකයෙන් ගිලිහී ගොසිනි. මතකයට නැ‍ඟෙද්දී සටහනක් තබන්නේ එබැවිනි.

දොලොස් මහේ පහන  වාගෙ- ධර්මසිරි ගමගේ
ආනන්ද සාගරේ - කරුණාරත්න අබේසේකර
සඳ මෝදුවෙලා - ධර්මසිරි ගමගේ
මම ගන්නෙමී කරකාර - ධර්මසිරි ගමගේ
රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ - ආචාර්ය අජන්තා
මනමාලයි මනහාරයි- ආචාර්ය අජන්තා- හිඟනකොල්ලා චිත්‍රපටිය
රත්තරන් පෙම් පුරාණේ- ආචාර්ය අජන්තා

සටහන තැබීමට සිත්වූයේ හදිසියේ මිතුරෙකුගේ අවශ්‍යතාවයකට තැටි ගබඩාව පිරික්සීමේදී ලැබුණු පහත ගීත දෙක නිසයි. ශෝකාලාප ගීයක් මෙතරම් හැඟීම්බරව ගායනාකිරීමට වෙනත් කිසිවෙකු සමත්වේදැයි  මේ ගීත අසන සෑම මොහොතකදීම මා මගෙන්ම අසාගනිමි. ඒ සෑම මොහොතකම ජෝතිපාලයන්ගේ ප්‍රතිභාව ගැන විමතියට පත්වෙමි. නැවතත් අසන්නට සිත්වේ. ඉදින් නැවතත් අසමි..

ජෝති ඔබට නිවන් සුව....

මා පැතූ දේ කෝ
පාළුවී ලෝකේ
මංමුළා වෙන්නේ

නොසිතුදේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුණා සේ
සිහිනයක් මේ ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

බිඳුණු ආලය පාළු වූසේ
ගොයම නියඟින්නේ
සුවඳ දී කුසුමක් පිපීලා
පරමලක් සේ යන්නෙ පරවී
මා මැරී සුන්වී

 

උපදින්න ආයේ
අතගන්න මාගේ
නැඟිටින්න ඔය නින්ද නොනිදා අනේ
ඔබ ඉන්න ලෝකේ
පවසන්න මිහිරේ
මම එන්නෙමී  දැන්ම හැර ජීවිතේ

පය මාගේ සිඹලා
පිළිගත්තෙ වැඳලා
දෙවියා ඔබයි මාගෙ කියලා
මට ඉන්න කියලා
ඇයි ඉන්නෙ නිදලා
නැගිටින්න මගෙ හුස්ම දෙමි මා

සිහිවෙන්න කියලා
දුන් මුද්ද පළඳා
සිටියා එදා මාව ‍රැකලා
මගෙ වාසනාවන් සුළගේ ගියාදෙන්
හමුවේවා මතු ආත්මයේවත්

 

 http://blogvampa.blogspot.com/2010/07/hr-jothipala.html

ප.ලි.

මේ ලිපියේ අරමුණ වුණේ ජෝතිපාලයන්ගේ වෙනත් "බූට් ගී" අතර මේ ගී දෙක ඉහලින් ඔසවා තැබීම නොවේ. කලකින් පසුව අහම්බෙන් ඇසුණ නිසා බෙදාගැනීමට පමණයි.

ජෝතිපාලට ගී ලියූවන් හා ගීත පිළිබඳ ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි. ධර්මසිරි ගමගේ ගැන ද ලිවිය යුතුය. ඔහු ජෝතිපාලට ගී ලියූවේ "අඳබාල ගීත ලියනවා" යැයි එකල සිටි ප්‍රබුද්ධ විචාරක දෝශාරෝපණ නොතකමිනි. අජන්තා රණසිංහට පීචං ලේබලය ඇලවී තිබිණි. ඒ ගැන පසුව කතාකරමු..

1 comment:

  1. මම කලින් අහල නැති ගී දෙකක්... උබට ස්තුතියි මචන්. ඈ වැම්පො ලඟදි ලංකාව පැත්තෙ යන්නෙ එහෙම නෑ ??

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails