Saturday, June 26, 2010

‍ෆිෆා රටවල් වලට නිකන් කතා කරන්න | Call Free to Fifa Playing Countries !

අද උදේ පාන්දරම දැකපු පරණ නිවුස් එකක් මේ. වර්ල්ඩ් කප් ප්ලේ කරන රටවල් වල අඩුම සබ්ස්ක්‍රිප්ශන් ගාස්තුවක් යන ලයින්ස් වලට (ස්කයිප්, ස්ථාවර දුරකථන) වලට මසක් පුරා නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ස්කයිප් හරහා පුළුවන්. ඉක්මන් කරන්න, අවස්ථා සීමිත ප්‍රමාණයක් පමණයි.

උතුරු කොරියාව හා අයිවරි කෝස්ට් රාජ්‍යයන් ට මේ දීමනාව වලංගු වෙන්නේ නෑ, නයිජීරියා, හොන්ඩියුරාස්, පැරගුවේ,ඝානා,ඇල්ජීරියා, නයිජීරියා, කැමරූන් වලට සබ්ස්ක්‍රිප්ශන් 1000 ක් පමණයි, මුළු ප්‍රමාණය සබ්ස්ක්‍රිප්ශන් 100,000 පමණයි.

 

ඔබේ ස්කයිප් ගිණුමේ යුරෝ 1කට සමාන මුදලක් ශේශව තිබිය යුතුයි.

මෙන්න ලින්ක් එක...

http://footballpromo.skype.com/

 

ඉක්මන් කරන්න, තොග සීමිතයි!

 

For free skype call offer: a fair usage policy applies, and this excludes service, special, premium and non-geographic numbers.


Terms and Conditions:


• Offer available for lowest priced subscriptions to landlines in countries with teams playing football in the World Cup tournament in South Africa between 11 June and 11 July 2010 (excluding North Korea and Ivory Coast),


• Offer limited to 1,000 subscriptions to each of Nigeria, Honduras, Ghana, Algeria, Paraguay and Cameroon, and 100,000 subscriptions in total. Only one free subscription per person,


• Subscriptions will be free for the first month. After this, your subscription will automatically continue and payments will be taken monthly unless you cancel,


• Offer expires on 11 July 2010,

ජය!
වැම්පයර්

Wednesday, June 23, 2010

නිකන් දෙන අස්සයගෙ දත් හෙවත් නිදහස් අධ්‍යාපනය | The Free Education in Sri Lanka

බොහොම හොඳ ලිපියක් මම දැක්ක අපේ ජංජාල චාමරගෙ බ්ලොග් එකේ, කොහොමද රටේ අධ්‍යාපන ක්‍රමය සිසුන් ගේ ජීවිත වල දෙවසරක් අනුභව කරන්නේ කියලා.. නිදහස් අධ්‍යාපනයත් මේකට ගාවගෙන තිබුණා.. නිකන් දෙන අස්සයගෙ දත් ගණන් කරනවා කියලා කොමෙන්ට් එකක. මේකට මම පොඩි ඌණ පූරණයක් කරන්නම්.

දැනට නිදහස් අධ්‍යාපනයක් නොමැති තැන්වල  ඒ සිදුවන ආකාරය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. 

මුලින්ම කියන්නම්, අස්සයා හම්බෙන්නේ නිකන්ම නෙවෙයි. ජනතාවගේ බදු මුදල් වලින් ජනතාවට දත් හැලිච්ච අස්සයෙක් දුන්නා මිස!

චාමර ඉදිරිපත් කර තුබූ ඉතා වැදගත් වැකියක් උපුටා දැක්වීමට කැමැතියි.

--------------------------------------------------------------------

ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.
ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කලමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.
   

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?
   

මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

---------------------------------------------------------------------

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නැති බොහෝ රටවල කිසිම කෙනෙකුට ඉගනගන්න බාධාවක් නැත...! සල්ලි තිබුණත් නැතත් ඉගනගැනීමට සියලු දෙනාටම පුළුවනි.

දැන් බලාවි මේ මොකක්ද කියන්න යන්නේ කියලා, සල්ලි දීලා ඉගනගන්නේ කොහොමද සල්ලි නැති අය.. ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක.

මේකයි, හරිම සිම්පල් ප්ලෑන් එකක්. ඉගනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා ණය මුදලක් ලබා ගැනීමට පුලුවන්. මෙමගින් ස්වයංක්‍රීයව අධ්‍යාපන ආයතනයේ මුදල පියැවෙන අතරම සිසුවාට මාසිකව ජීවත් වීමට වේතනයක් ද ලැබෙනවා. මේ මාසික වේතනය සිසුවාගේ පවුල මත වෙනස් වෙනවා. විවාහකයෙකුට (විවාහක සිසුවෙක්, හෝ සහකරුවෙකු සමග වෙසෙන්නෙක්) වැඩි මුදලක්, අවිවාහකයෙකුට අඩු මුදලක් ලෙස.

මේ වේතනයෙන් බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙමාපියන්ට බරක් නොදී. බොහෝ රටවල මෝටර් රථයක් පවා පාවිච්චි කිරීමට මේ මුදල ප්‍රමාණවත්.

‍රැකියාවක් කරන තුරු තමන්ට අවශ්‍යපමණ ඉගන ගත හැකියි (ශාස්ත්‍රපති, දර්ශනපති උපාධි පවා), සියලු වියදම් ණය දෙන ආයතනය (බොහෝ විට රාජ්‍ය හා පුද්ගලික බැංකු එකමුතුවකි) මගින් දරණු ලබනවා.

‍රැකියාවක් ලැබීමෙන් පසුව කොටස් වශයෙන් අවුරුදු 20 -30 වැනි කාල පරාසයකට යටත්ව ණය මුදල ගෙවාදැමිය හැකියි. තමන්ගේ වේතනය අනුව මාසික වාරිකය සකසා ගත හැකියි.

මේ ණය පොළී රහිත ණයක්, නමුත් සිසුවා පිට රටක ‍රැකියාවකට ගියොත් මේ ණය සඳහා පොළී අය කිරීමක් කරනු ලබනවා.

දැන් මේ ක්‍රමයේ තිබෙන වාසි අවාසි සලකා බලමු.

වාසි:

  1. සිසුවා ඉගනගැනීමට යොදවන්නේ තමාගේ ම මුදල්, ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ මෙන් නොව හොඳ අධ්‍යාපනයක් සඳහා අවශ්‍යම කරන මෝටිවේශන් එක සිසුවා සතුව තිබෙනවා.
  2. රජය ට ඉතා හොඳ ආයෝජනයක්!
  3. දෙමව්පියන්ට සිසුවාගේ අධ්‍යාපනයට මුදල් යෙදැවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ.
  4. සිසුවා කැමැති විශයන් ගෙන් ඉදිරියට යා හැකියි, මුදල පිළිබඳ ගැටළුවක් නෑ.
  5. අධ්‍යාපන ආයතන සතුව මුදල් පවතිනවා, එම නිසා ඒවා ආයෝජනය කර නවතම තාක්ෂණික මෙවලම් ඉගැන්වීමට යොදාගන්න පිළිවන්.

අවාසි:

  1. රජයට මුලින් විශාල මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කරන්න සිදුවෙයි.
  2. අදාළ පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක වන තෙක් ඒ පිළිබඳ සොයා බැලීමට සිදුවෙයි.

ඔබලාගේ අදහස් කොමෙන්‍ටුවක් වශයෙන් තබා යන්න, මට දැනට මතකයට එන්නේ මෙපමණකි.

අද සිදුවන නාස්ති හා අක්‍රමිකතා අවම කලහොත් පළමු අවාසිය යම්තාක් දුරට මගහරවා ගන්න පුලුවන්. ඒත් රට කරවන්ට දැන උගත් මිනිසුන් පහළවන තුරාවට දෙවැන්න මහා බාධකයක් වෙනු නො අනුමානයි.

වැම්පයර් ගේ සිතුවිලි වලට අනුව මේ වැඩේ ලංකාවෙ කරන්න බැරිත් ඒ නිසාම තමයි.

පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ත් වැම්පයර් ගේ ඇත්තේ ධනාත්මක ආකල්පයක්. ඒ ගැන කෑ කොස්සන් ගහන උදවිය ඒ කරන්නේ පැහැදිලි ඉරිසියාවට හා කුහක කමට. තත්ව පාලනයක් සියලු තන්හි තිබිය යුතුයි. ඒත් මේ ලොව සියලු තන්හි සාර්ථකව පවත්වාගෙන යන පුද්ගලික අධයාපන ආයතන ගැන බොරු හුඹස් බියක් ඇතිකරගෙන නගුට පාගාගෙන කෑගසන්නට යාමෙන් වන්නේ "අදුරේ වුවද කෑ මොර දෙන්නේ ගවයෙකි" යන්න අවට ලෝකයට පසක් වීමයි.

සිදුවිය යුත්තේ උම්බෑ ගැම නොව රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි තත්වය වැඩිදියුණු කරන ලෙසට රට කරවන ඇත්තන්ට පැවැසීමයි. ඒත් එතනත් පොඩි අවුලකි. 

ඒ ඉන් සමහරුනට "විශ්ව විද්‍යාලය" යන වදන පවා නොතේරීමට ඇති ඉඩකඩයි!

අදාල සබැඳි

http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html#comments

http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html

 

Disclaimer
මෙයින් නිදහස් අධ්‍යාපන ක්‍රමය විවේචනය කිරීමට හෝ ඒ ගැන කරුණු දැක්වීමට අදහස් කරන්නේ නැත. 

නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්නට, නැත්නම් අද මම නැත!

ජය...

වැම්පයර්

Tuesday, June 22, 2010

රනිල්ගේ ප්‍රශ්නය! The Ranil's Question

 

 

 

සියලු පුද්ගල නම් ගම් මන:කල්පිතයහ. කිසිම චරිතයකට පහර ගැසීමට හෝ අපහාස කිරීමට කතුවරයා අදහස් නොකරයි. මේ නම් ඇති අයවලුන් වේ නම් කමත්වා!

එකෝමත් එක කාලෙක එක රටක රනිල් කියලා මහත්තයෙක් අගමැති වෙලා හිටියලු.

ඔන්න ඉතින් රනිල් මහත්තයා එංගලන්තේ ගියාලු ‍රැජින මුණගැහෙන්න. ඉතින් දෙන්නා ආගිය තොරතුරු කතාකර කර ඉන්න ගමන් ‍රැජිනට හිතුනලු තමන්ගේ ඇමති මණ්ඩලයේ බුද්ධිය රනිල් මහත්තයට පෙන්නන්න.

ඔහොම හිතපු ‍රැජින ගැහුවලු මේසෙ උඩ තියෙන බෙල් එක.. ටිං ටිං ගාලා.

 

විනාඩි දෙකෙන් ටෝනි බ්ලෙයා කියලා මහත්තයෙක් දුවගෙන ආවලු. මිනිහා ‍රැජිනගෙ අගමැති.

‍රැජින ඇහුවලු..

"ටෝනි, ඔබට නෑයෝ සිටිත්ද?"

"එසේය ‍රැජිණියනි, බොහෝයැ"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"එසේය ‍රැජිණියනි, බොහෝයැ"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

ඔන්න ටෝනි හිරවුණා, මිනිහා කල්පනා කරනවා කල්පනා කරනවා.. ම්හු...
ටිකක් වෙලා කල්පනා කරලා එක පාරටම මිනිහා කියපි, "සිටියි සිටියි... ඒ මම නේ"

 

මේ සිද්ධිය බලන් හිටපු රනිල් මහත්තයා පුදුමෙන් පුදුමෙට පත් වුණා ලු ටෝනිගේ මීටරේ ගැන! තමන්ගේ රටට ගිහින් තමන්ගේ සෙට් එකට දෙන්නම් බැස්ටිය කියලා හිතාගත්තලු.

දැන් රනිල් මහත්තයා තමන් ගේ රටට ආවය කියමුකෝ.

ආපු ගමන් අග්‍ර පුරෝහිත ජී.ඇල්. මහත්තයා කැ‍ඳෙවුවා.

දැන් රනිල් මහත්තයා අහනවලු,

"ජී.ඇල්., ඔබට නෑයෝ සිටිත්ද?"

"ඔව්"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"නැතුව"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

ඔන්න ලොක්කා හිරවුණා, දහ අතේ කල්පනා කළා. උත්තරයක් හිතාගන්න බැරි වුණා. ම්හු. රනිල් මහත්තයගෙන් දවස් දෙකක් ඉල්ලගත්තා වැඩේ ගොඩ දාල දෙන්න.

දැන් ජී.ඇල් මහත්තය දස අතේ කල්පනා කරනවා. එතකොට එතෙනට ආපි තව හොඳ බුද්ධිමතෙක්. ඇස්.බී.!

ජි.ඇල් මහත්තයා ප්‍රශ්න ටික යොමුකළත් ඇස්.බී. මහත්තයත් අන්තිම ප්‍රශ්නෙදි නිරුත්තරයි.
අන්තිමේදී ඇස්.බී. මහත්තයා යෝජනා කලා නලින් කියලා මහාචාර්ය කෙනෙක් ගෙන් අහන්න.

දැන් දෙන්නා එක්ක නලින් මහාචාර්ය තුමා මුණගැහිලා කතාව. පොඩ්ඩක් කල්පනා කරපු නලින් මහාචාර්ය තුමා අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.

"ඔව් ! ඒ මම නේ" කියලා.

දැන් ජී.ඇල් , ඇස්.බී මහත්තුරුන්ට හරිම සතු‍ටුයි. මේ දෙන්නා ඉතින් දිගට මහාචාර්යතුමත් එක්ක කතාවට වැ‍ටුණා.

මේ අතරේ, රනිල් මහත්තයගෙන් තමන්ට විතරක් ලකුණු දාගන්න හිතපු ජී.ඇල්. මහත්තයා හොරෙන්ම රනිල් මහත්තයගෙ ගෙදරට දුවගෙන ආවා.

"රනිල් මහත්තයෝ, උත්තරේ හම්බුණා"

"එහෙනම් අපි මුල ඉඳලා පටන් ගමුකෝ" රනිල් මහත්තයා කියපි

"හා, හොඳා"

"ජී.ඇල්., ඔබට නෑයෝ සිටිත්ද?"

"ඔව්"

"ඔබට නොනෑයෝ සිටිත්ද?"

"නැතුව"

"නෑයෝ නොනෑයෝ හැර වෙන කවුරුන් හරි සිටිත්ද?"

"ඔව් දැන් මම දන්නවා"

"ඒ කවුද"

"මහාචාර්ය නලින්!"

 

හිනාව තද කරන් රනිල් මහත්තයා කියපි, "අනේ මේ වගේ මෝඩ ‍රැලක් එක්කනේ මම ඉන්නේ, එයා නෙවෙයි අනේ, ඒ

 

ටෝනි බ්ලෙයා !!!! "

 

මේ නම් ගම් ඇති අයවලුන් වේ නම් කමත්වා, සියල්ල මන:කල්පිතයි, හුදෙක් හාස්‍ය රසය සඳහා පමණයි.

පරණ කතා.. http://blogvampa.blogspot.com/search/label/stories

 

ජය!
වැම්පයර්

Sunday, June 20, 2010

ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමණාකරුවෝ -3 කොටස |Engineers and Human Resource Managers– Episode 3

 

මෙන්න කතා සීරීස් එකේ තුන්වැනි කතාව..
මුල් කතා දෙක නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක්ස්  බලලම ඉන්න.

එපිසෝඩ් 01
එපිසෝඩ් 02

එකෝමත් එක කාලෙක අපේ මානව සම්පත් කළමනාකාර මහත්වරු තුන් දෙනෙක් කැලයක් මැදින් ගමනක් යනවාලු.  මේ අයට යන අතර මගදි ගඟක් තරණය කරන්න සිද්ද උනා. සැඩ පහර හොඳටම සැරයි. එගොඩට යන්නත් ඕන. දැන් කට්ටිය කතා වෙනවා මොකද කරන්නේ කියලා, අන්තිමට දෙවියන්ට කියන්න කතා කරගත්තා.
පළවෙනියටම කණ්ඩායමේ වැඩිමහලු පුද්ගලයා දණගහගෙන දෙවියන් යදින්න පටන් ගත්තා.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට ශක්තිය දෙන්න!"

දෙවියන් ඔහු අබියසට පැමිණ ඔහුගේ දෑත් හා දෙපා ශක්තිමත් කළා, කීප වටක් දියේ ගිලුණත් ඔහු එගොඩට පීනා යාමට සමත් වූවා, දැඩි උත්සාහයකින් අනතුරුව.

දෙවැන්නාගේ වාරය.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට උපකරණ දෙන්න!"

දෙවියන් ඔහු අබියසට පැමිණ  ඔහුට කුඩා ඔරුවක් හා හබලක් ලබා දුන්නා, දැඩි උත්සාහයකින් පසුව ඔහුත් එගොඩට යාමට සමත් වුණා.

තුන්වැන්නා දෙවියන්ගෙන් මෙසේ අයැද සිටියා.

"දෙවියනි, මට මේ නදිය තරණය කිරීමට බුද්ධිය දෙන්න!"

දෙවියන් ඔහු ඉදිරිපිටට පැමිණ ඔහු ඉංජිනේරුවෙක් බවට පත් කළා, තමාගේ බෑගය තුල තිබුණු සිතියම ගත් ඔහු මදක් ඉවුර දිගේ ඇවිදගොස් සිතියමේ සටහන්ව තිබුණු පාලමකින් බොහොම ලේසියෙන් එගොඩට ගියා!

කතාවේ අර්ථය :
ඉංජිනේරුවා සෑම විටම බුද්ධිමත් ව  කටයුතු කරයි. මානව සම්පත් උන්දැලාට දෙයියන්ගේම පිහිටයි.

ජය.
වැම්පයර්

Friday, June 18, 2010

ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමණාකරුවෝ -2 කොටස |Engineers and Human Resource Managers– Episode 2

 

කට්ටියට මතක ඇතිනේ මම දැම්මා ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමනාකරුවෝ ගැන පෝස්ට් එකක්. මෙන්න ඒකේ දෙවනි කතාව.

ඔන්න එක දවසක් ඉන්ජිනේරුවෙකුයි මානව සම්පත් කළමනාකරුවෝ 5 දෙනෙකුයි නැවක යනවා,  හදිසියේ මේ නැව අනතුරකට ලක් වුණා. 6 දෙනා ජීවිතාරක්ශක බෝට්‍ටුවක නැගලා පාවි පාවි හිටියා දවස් කීපයක්, හෙලිකොප්ටරයක් ඇවිත් මේ 6 දෙනා බේරගන්න ලනුවක් දාන තුරු!

දැන් ලනුවේ එල්ලි එල්ලි කට්ටිය ඉන්නවා. හෙලිකොප්ටරේ යන්න පටන්ගත්තා ගොඩබිම පැත්තට.

ටික වෙලාවක් යද්දි කට්ටියටම තේරුණා ලණුවෙ 6ක් එල්ලිලා යන්න අමාරු බව, එහෙම ගියොත් ලණුව කඩන් කට්ටියම මූදෙ.

දැන් කට්ටියට තීරණය කරගන්න බැරිවුණා ස්වෙච්ඡාවෙන් අන් අයගේ යහපත තකා ලණුව අතහරින කෙනාව. අන්තිමේදී ඉංජිනේරුවා තීරණය කළා මුලින්ම ලණුව අතාරින්න, මොකද ඉංජිනේරුවෝ කියන්නේ තමන්ගේ ජීවිතය වුණත් තමා වැඩකරන සමාගම වෙනුවෙන් දෙන්න කැමති, තමන්ගේ පුද්ගලික හා පවුල් දිවිය සඳහා ඇති කාලයත් සමාගමේ දියුණුවට යොදවන, තමාගේ පොකැට්‍ටුවෙන් සමාගමේ වැඩ සඳහා යන වියදම් දරණ (අතින් කාලා හරක් බලන), පඩි නැතුව ඕටී කරන (ගොඩක් තැන් වල ඉංජිනේරුවන්ට ඕටී නැත!)  ජාතියේ කොට්ටාසයක් නේ.

ඉංජිනේරුවාගේ තීරණය කිවුවා විතරයි අපේ මානව සම්පත් කළමනාකරුවෝ සෙට් එක පුරුදු විදියට පොඩි අත්පුඩි පාරක් ගහලා සතුට පළ කලා.

කතාවේ අර්ථය - ඉංජිනේරුවෙකුගේ හැකියාව කිසිදා අවතක්සේරු නොකරනු!

Thursday, June 17, 2010

ත‍ටු ඇවිල්ලා .. ! Thatu Awilla Oba Ohe Yanawa - You Got Wings!



විවාහයෙන් පසු බිරින්දෑ වරුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන ලියැවුණ ගීත අතරින් මේ ගීයට හිමිවන්නේ බොහොම සුවිශේෂ තැනක්. මේ ගීයේ විශිෂ්ඨ පද රචනය හා අමරසිරි පීරිස් කලාකරුවාගේ භාව පූර්ණ නද, ඒ තැන මේ ගීය තැබූ බව නොකියාම බෑ. බටහිර පශ්චාත් රොමැන්තික ඌරුවට i.e.post romantic style බරව, පියානෝව ප්‍රධානකොට තැනූ තනුව අමරසිරි මහතාගේ හඬ හා මනාව මුසුව තිබෙන හැටි අපූරුයි.



මේ ගීතය මට මුලින්ම අසන්නට ලැබුණේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ, අමිල පෙරේරා ගේ ප්‍රචාරණ පටයකින්. අමිල පෙරේරාත් මේ ගීයට සෑහෙන දුරට සාධාරණයක් ඉ‍ටුකළ බව පැහැදිලිවම පැවසිය යුතුයි.



පදරචනය උපුල් ශාන්ත සන්නස්ගලයන් ගෙන්..

සංගීතය සමන්ත පෙරේරා



ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..

කෙසේ නම් මම නවත්වන්නද...
මල් රේණු රේණු සැලෙනා..
හිවුඩු පිපෙනා..පැතුම් පුරනා.. අහස යට ඔබ පාවී යන්නා..
තෙත සිඳුනු බොල් හීන සුළඟ දිගේ...

ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..


නෙළූ පලවැල මග දමන්නද...
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා..
කුරුළු බිලිඳු .. හෙලන කඳුලු.. මහමෙරක් යට...
තනිව මා උන්නා...

ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා.. කොහොම කිවුවත් නවත්වන්නට බෑ..
ප්‍රේම ආලින්දයේ..
එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ..



අසන්න..ත‍ටු ඇවිල්ලා.. ඔබ ඔහේ යනවා



බාගත කරන්න..



අදාල සබැඳි



http://blogvampa.blogspot.com/search/label/songs



http://en.wikipedia.org/wiki/Post-romanticism

Wednesday, June 16, 2010

කවුද? | Who is this?

 

 

මේ කතන්දරේ මට මතක් උනේ කලින් මම ලියපු කොහොද ඕයි තමුසේ ඉන්නේ කතන්දරේට කොමෙන්ට් එකක් දාන්න ගිහින්.. මේකත් සම්පුර්ණ සත්‍ය සිදුවීමක්, මම කලින් පොස්ට් වල මම කරන දේවල් හා මගේ සරසවිය ගැන කියල තිබුණනේ.

අපේ කැම්පස් එකේ හිටපු අය දන්නව ඇති, පාඩම් කරන්න තැන් කීපයක් තියනවා, අපාය, විමානය, බස් එක, ගොඩ උඩ,  හා එල් එක තමා මේන් තැන් ටික. සෙට් එකේ හිටියා "නුවා" කියලා එකෙක්. නුවා සාමාන්‍යයෙන් විමානයේ ටිකක් රෑ වෙනකම් පාඩම් කරලා දෙගොඩහරි ජාමෙ තමා ඉතින් බෝඩිමට යාත්‍රා කරන්නේ.

විභාග කාලෙ ඉතින් රෑ 12 පැනලා තමා එන්නේ.

බෝඩිමෙත් පාඩම් කරන සෙට් එකක් හිටියා,  එහෙම කිවුවට ඉතින් වැඩිපුරම කළේ කයිය ගහන එක තමයි. ඔයින් එකෙක් තමා "ආරි".

අද චුටි කතාවෙ ප්‍රධාන චරිත දෙක තමා ඔය.

නුවා රෑ දෙගොඩහරි ජාමෙ ඉතින් ඇවිත් කට්ටියගෙ නින්ද කඩනවා, ඒක නිසා කට්ටිය මේකට පිළියමක් විදියට නුවාගෙ කාමරේ ජනේලයක් ඇරලා තිබුණා, ඒ කාමරේ තමා අපේ අනිත් චරිතේ නිදාගන්නේ.

එක දවසක් රෑ නුවා එනකොට ආරි නිදි. නුවා ජනේලෙන් බාගයක් ඇඟ ඇතුලට දැම්මා විතරයි ආරි නිදිමතේම ඔලුව පොඩ්ඩක් උස්සලා ඇහුවලු..,

"කවුද  .......? හොරෙක්ද ........? "

මේ ආරංචිය පහුවදා අපේ ප්‍රධාන සිරස්තලය බවට පත් වුණා.. ඊට පස්සේ ආරි මොකක් ඇහුවත් (උදා. "අර යන එකා කවුද බන්?") ,.....අපේ අය "කවුද  බන්......? හොරෙක්ද ........? " කියලා අහන්න අමතක කලේ නෑ ආරි ගෙන්..

ජය..

වැම්පයර්

Sunday, June 13, 2010

කොහෙද ඕයි තමුසේ ඉන්නේ ...

මේක මම දහම් පාසල් කාලේ යන කාලෙ වෙච්චි කතාවක්. නම් ගම් මන:කල්පිතයි. සිද්ධිය සත්‍යයක්.

අපි කියමු මගේ යාලුවට කසුන් කියලා, ඔන්න ඉතින් අපි සෙට් එක දහම් පාසලේ ඉගනගන්නවා. එහෙම කිවුවට ඉගන ගන්නෙම නෑ..ඔහේ ඉතින් ඉරිදට ගිහින් පොඩ්ඩක් සෙට් වෙලා ඉතින් සරුංගල් ගැනයි, මාලු ටැංකි ගැනයි කතා කර කර ඉන්න එක තමා කරන්නේ, තව පන්සලේ වැලි මලුවේ ටීක් බෝල ගහනවා . පස්සෙ කාලෙක සිලබස් චේන්ජ් වෙලා මේ කතා කරන සබ්ජෙක්ට් ඇන්ඩ් කරපු වැඩ මාරු උනා .. :D

දහම්පාසලේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ ටිකක් සැරයි, නැත්නම් ඉතින් අපිව කොන්ට්‍රොල් කරන්නත් බෑ නේ.

ඔන්න ඉතින් හාමුදුරුවො උගන්නනවා, මේ අතරේ අපේ කසුන් ගොයියා ඔහේ උඩ බලාගෙන ෆුල් මනස්කාන්ත මනෝ හීන පාරක් දාගෙන ඉන්නවා කටත් බාගෙට ඇරගෙන.

හාමුදුරුවෝ කීප සැරයක් බැල්මට් එක දැම්මා කස්සගේ පැත්තට, මමත් පොඩ්ඩක් පොරට ටච් එකක් දැම්මා වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියන්න. කොහෙද මූ නිකන් ඔල්මොරොන්දන් වෙලා වගේ මනෝ පාරේ දිගට දිගට යනවා!

එකපාරටම හාමුදුරුවෝ කස්සගේ ළඟට ඇවිත් සිංහනාද කරලා අහපි, "කොහෙද ඕයි තමුසේ ඉන්නේ, පාඩමේ නෙවිද?" කියලා. 

මූ කලබල වෙච්ච පාරට දඩ බඩ ගාලා නැගිටලා කියපි,
"නෑ ලොකු හාමුදුරුවනේ, දික්වැල්ලේ !!!"

සටහන : කස්සගේ ගෙවල් තියෙන්නේ දික්වැල්ලේ (මාතර දිස්ත්‍රික්කය)

Saturday, June 12, 2010

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙනයන් | Yadamin Banda Vilangula Mage Putha Ragenayan

 

 

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙනයන්

මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා, සංගීතය නැසීගිය සරත් දසනායක මහතාගෙන්. අසූ ගණන් වල විප්ලවීය කාලෙ නන්දා මාලිනිය ඇගේ මියුරු හඩින් ගීත කීපයකින් වැඩේට සම්මාදම් උණා, මේ නිසා එතුමියගේ ගීත තහනමට පවා ලක්වූවා, සුනිල් ආරියරත්න මහත්තයගේ පන්හිඳ බොහොම දරුණු විදියට පවත්නා ක්‍රමය විවේචනය කරමින් තිබුණා.

මෙය දඟගෙයි මළ තම එකම පුතණුවන්ගේ මරණයෙන් නැගෙන මවකගේ ශෝකාලාපයත්, හා නිර්දය ලෙස පවත්නා සමාජ ක්‍රමය විවේචනයක් එකට ගොනු කළ ඉතා විශිෂ්ඨ නිර්මාණයක්..

ඉතා ප්‍රබල පද මාලාවක්! 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි  ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්
පන්දු කෙළින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිනිගෙන ඇතිවග දු‍ටු මගේ එකම පුතණුවන්
එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

ගිනිගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙනයන්
ඉඳි ක‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

ඇල්බමය- පවන - නන්දා මාලිනී
පද- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය- සරත් දසනායක

මෙතනින් අහන්න
මෙතනින් බාන්න

Related Links

පරණ ඒවා අහනවනම් මෙතනින් යන්න

http://en.wikipedia.org/wiki/Nanda_Malini

 

ජය..

වැම්පයර්

Friday, June 11, 2010

ගංගොඩවිල සෝම හිමි.. මගේ අදහස – Ven. Gangodawila Soma Thero – My Idea

ගංගොඩවිල සෝම හිමි.. මගේ අදහස

මෙය ලිවීමට මූලික වස්තුබීජය සැපැයූයේ මාගේ "සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්!" යන මැයෙන් පසුගියදා පළ කරන ලද ලිපියට පාඨකයන් දැක්වූ අදහස් බව කිව මනාය.

සැබැවින්ම සිදුවූයේ කිමද? මාගේ පුද්ගලික අදහස නම් මෙය මිනීමැරුමක් බවයි. වෙනත් වදන් වලින් පවසනවා නම් සෝම හිමියන් මූලධර්මවාදී සංවිධානයක කුමන්ත්‍රණයක පහසු ගොදුරක් වූ ව බවයි. එසේ වූයේ කෙසේද..?

මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් මෙසේ සටහන් කරමි..

සෝම හිමියන් ගේ අදහස් හා මතවාද එකල්හි මහත් බොදු පුබුදුවක් ඇති කිරීමට සමත්විය. එසේ හෙයින්ම උන් වහන්සේට ජීවිත තර්ජන ද නො අඩුව තුබූ බව සියලු දෙනාම දන්නා කරුණෙකි.

එසේ හෙයින් උන්වහන්සේ යම් කිසි අවස්ථාවකට වැඩම කළ කල්හි ආවතේව කිරීමට, ආහාර පාන සැපැයීමට හා කුදු මහත් කටයුතු සියල්ලම ඉ‍ටු කිරීමට උපස්ථායක පිරිසක් ද උන්චහන්සේ අසලම සිටියහ. මෙමගින් උන් චහන්සේ පරිබෝජනය කරන දේ contaminate වීම වැළැකිණ. ඒ ඉතා හොඳය.

එහෙත් එක් දිනක ඒ දුක්බර පුවැත ජීවය ලැබීය.

-------------------------------------------------------------------------------

මගේ පුද්ගලික අදහස නම් සෝම හිමියන් උපාධියක් පසුපස ගොස් මුලා වූ බවයි. සියලු පෘතග්ජනයන් සේම එම අවස්ථාවේදි උන්වහන්සේගේ සිතේ ඇතිවූ තෘශ්ණා සිතිවිලි වලින් උන් වහන්සේ රුසියාවට හදිසියේ යාමට තීරණය කළ බවයි. එමගින් උන් වහන්සේ ගිල දැමීමට සිටින පවි‍ටුන්ගේ කටටම ස්වේච්ඡාවෙන් වැඩම කළ බවයි..

තමාට යම් කිසි නොදන්නා ආයතනයක් යම් කිසි කටයුත්තකට ආරාධනා කල පසු ඒ සංවිධානය ගැනත් එහි ක්‍රියාකලාපයන් ගැනත් සොයාබැලීමට උන්වහන්සේට නොහැකි වූයේ ඇයි? මේ සම්බන්ධයෙන් උදවු උපකාර ගැනීමට උන්වහන්සේ අවට දහසකුත් දෙනා සිටියහ, එහෙත්!

පසුගිය දේවල් හාරා ඇවිස්සීමෙන් පළක් නැත, තවත් අදහස් දැක්වීමට මම අදහස් නොකරමි.
මාගේ පුද්ගලික අදහස් (අපවත් වීම හා අපවත් කිරීම සම්බන්ධයෙන් හැර) බොහෝ විට මේ කොමෙන්‍ටුව හා ගැලැපේ. මාතලන් සහෝදරයාට මාගේ ස්තුතිය! සමහර කරුණු වල සත්‍ය අසත්‍යතාව මම නොදනිමි.

රොශාන් .. ඔබටත් ස්තුතියි.

-------------------------------------------------------------------------------------
මාතලන් said

උන්වහන්සේ දෙවියන් අදහන ගොන් බෞද්ධයින් එයින් මුදවා ගන්න විශාල උත්සාහයක් ගත්තා. නමුත් එයින් පලක් උනේ නෑ. ලංකාවේ ඉන්නෙ මොනතරම් බූරුවොද කියල උන්වහන්සෙගෙන් විමසන ප්‍රශ්න වලින් ඒ කාළේ රටම දැනගත්ත. උන් වහන්සේ කන පැලෙන්න ඒ හරක්ට උත්තර දුන්න.
නමුත් රහත් බව නොලබා සිටි උන්වහන්සේ ලද ජනප්‍රියභාවය නිසා මෝහයෙන් මුලා වුනා. බුදු පුතුන්ගේ යුතුකම අමතක කොට රටේ ජනාධිපති වන්න ගියේ ඒ නිසයි. අප සහ නායක හිමියන් කොතෙක් කරුණු පැහැදිලි කලද උන්වහන්සේ තම තීරනණය වෙනස් කළේ නෑ.

කෙලෙස් නොනසා සිටි උන්වහන්සේ උපාධියක් පසු පස ගොස් අපවත් වුනා. කවුරුත් නොදන්නා දෙයනම් උන්වහන්සේ දිනපතා විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කල රෝගියකු යන්නයි.

වෛද්‍ය නිරිඇල්ල මහතා උන්වහන්සේගේ මරණය බිළීබඳ පරීක්ෂන පවත්වා එය ස්වාභාවික මරණයක් බව ඔප්පු කළා. නමුත් අපේ රටේ චරිතයන් නොතිබූ පුද්ගලයින් උන්වහන්සේගේ අපවත්වීම විකුණමින් වීරයන් බවට පත්වුනා.

පාර්ලිමේන්තුවට වැඩම කොට අදටත් බයිලා ගසන චක්‍රවර්තිලා, රණවකලා, මං ගොන් පිලලා ඒ වෙනුවෙන් කළේ මොකක්ද. ඔවුන් කළේ ඔරුවක් බව දන්නා නිසා අදටත් මේ ප්‍රශ්නයේදී කැඳ බිව් ගොලුවන්සේ අදත් මේ පල් හොරුන් නිහඬයි.

කෙසේ හෝ රටට වැඩක් කළ හැකිව තිබූ හිමි නමක් අපට අහිම් උනා....

----------------------------------------------------------------------------------------------------

තෘෂ්ණා සපුරා ප්‍රහීන කිරීමට තවමත් අප වාසනාවන්තයෝ නොවෙමු, එහෙත් ඒ සිත්හි තබාගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට සිත්හි තබා ගනිමු, ඒ සඳහා වීර්ය කරමු! ඒ අපට කළ හැක, මනුශ්‍ය ආත්මයෙන් make the maximum use!

ජය..

වැම්පයර්

Sunday, June 6, 2010

සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles

සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles

මේ ඡායාරුප පෙළ මට ඊ මේල් පණිවුඩයක් මාර්ගගෙන් ලැබුණේ! බොහොම පුදුම සහගතයි! සෝම හාමුදුරුවන් ගේ අපවත් කිරීමට හෝ අපවත් වීමට සෘජු සම්බන්ධ කාරණා කිහිපයක්!

මේ සටහන් පෙළ සත්‍යයක් නම්!


මුල් ඡායාරූපයට අනුව පාලිත ටෙරාන් නම් රුසියාවේ පදිංචි ශ්‍රී ලාංකික මහතෙක් සෝම හිමි අපවත් කිරීම පිළිබඳ සොයා දැනගත් සියලුම කාරණා මෙහි ඉදිරිපත් කර ඇත. ඒ සියල්ල සත්‍ය බව එතුමා වගකීමෙන් පවසයි.

වැම්පයර් ගේ පුද්ගලික විශ්වාසයත් එසේමැයි!

37 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36

ජාතිය පුබුදුවාලූ ඒ සර නැවතත් අසන්නට මෙතැනින්
http://www.vihara.org.au/t7/dhamma/media/audio/authors/ven_soma/default.aspx#un1

Disclaimer - බ්ලොග් කතෘ වන මම මේ ඡායාරූප සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරමි. තවද කිසිදු ආගමික බේදයක් ඇතිකිරීම හෝ ඒ සම්බන්ධව කතිකාවක් ඇති කිරීමට මම අදහස් නොකරමි! එනමුදු මෙවැනි අදෘශ්‍යමාන බලවේග දැනටද ක්‍රියාත්මක වන බව නම් වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

LinkWithin

Related Posts with Thumbnails