Wednesday, June 8, 2011

මගේ නංගී... රචනාවක්..




මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි.  ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ.  නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය.  ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය.  නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය.  තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී.  ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය.  ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත.  ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය.  බැරිවෙලාවත් ඇයට හැක‍රැල්ලෙකුගේ මෙන් කකුල් තිබුණානම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි.  අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත.  දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය.  නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි.  ඒ ශේවින් ක්‍රීම්ය.  මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා ‍රැවුල කපාගන්නෙමු.

නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය.  අද කාලේ බේබිලා කොච්චර ලොකුදැයි මට අවසානයේ කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. 

අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි.  මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනෑම උලව්වක් ඇය මුහුණේ උලයි.  කිටියා වඩාත්ම කැමති අගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි.

දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත. " කෝ අම්මෙ පිපිඤ්ඤා?" "නංගිගෙන් ඉල්ලගන්න" කාරණාව තේරුනේ එවිටය.  බත් එක බෙදාගෙන දෙහි, රතුළූනු, අමුමිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.

නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි.  සැලුනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි.  අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි.  කොණ්ඩය බ්ලීච් කරයි. තොල් රිකන්ඩිශන් කරයි.  නංගිගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය.  සැලුනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.


නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනෙක පුවත්පත් වල පලකිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.

"රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ, මෝඩ, බයාදු, විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණවූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කම්නැත.  විහිළුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි, මීට අයියා...."


කතෘ නොදනිමි- උපුටා ගැනුමකි.


Image URL
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTTQ3brHQRwRLuvTob-PG3USJ8shnw0yn2DX88-xQoVV9XccL8Z

19 comments:

  1. මරු කතාවක් නේද මම කලින් ඕක දැකලා තිබ්බා. ඕක පත්තරේක ගිය එකක් මම හිතන්නේ

    ReplyDelete
  2. ඕව්.. මට ආපු ඊ මේල් එකක තිබුනෙ. ඒකෙ කතෘ නැහැ නෙ.

    ReplyDelete
  3. මං ඒත් බැළුවා උඹට උදේම මඤ්ඤංද කියලා..කොහොම උනත් එළ ලිපිය..හැක් හැක්...

    ReplyDelete
  4. මැක්සා කතන්දරේ වැම්පයර්....ඔය නිකා ඉන්න එකේ නංගිගෙත් ලේ ටිකක් උරා බීලා පොඩ්ඩක් හදාගන්න ට්‍රයි කරපන්....

    ReplyDelete
  5. ඉස්සර තරුණය පත්තරේ ගියා එදිරිගේ සාටරේ කියල කතා සෙට් එකක්.අන්න ඒකෙ ගිය නියම කතාවක් තමයි ඔය.උපුටා ගැනුමකි කියලා දාපු එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  6. කට්ටියට ස්තුතියි, තිශ්- ඔව්.. එදිරිගෙ සාටරේ තමයි,.. දැනුයි මට කල්පනාවට ආවෙ..ලියන්නේ සරත්වීර එදිරිමුණි..හොයාගත්ත චිදියට..

    ReplyDelete
  7. අහල තියෙනවා. මතකය අලුත් උනා. ඔය අයියල ගැන නංගිලා ලියන්න පටන් ගත්තු දවසට තමා කට්ටියට හැංගෙන්න තැන් නැති වෙන්නෙ.

    ReplyDelete
  8. හැක් හැක් හැක්......... පට්ට සීන් එක.......... :D

    ReplyDelete
  9. අඩේ මං මුලින් හිතුවේ මේ ඔයාගේම නංගි ගැන ලියනවා කියලා. හැබැයි ගිණි ගන්නා පහනට නංගිව උපමා කලාම හරි නැහැ කියලා හිතුනා. පස්සේ හිතුවා වැම්පාගේ අගනා රචනාවක් නොවැ කියලා. හිතපු සේරම වැරදියිනේ බොලේ........ කොහොම වුනත් උපුටා ගැනීමක් වුවත් ඉදිරිපත් කර අපට සිනා ගෙනාවට ස්තුතියි වැම්පෝ.........

    ReplyDelete
  10. නියම නංගි කෙනෙක්.:D

    ReplyDelete
  11. තරුණයා පත්තරෙ යන එදිරිගෙ සාටරෙ.... එක නියම කතා ටිකක්.. මට පෙන්නුවෙත් අපෙ නංගි.. හික් හික්..

    ReplyDelete
  12. සිරා කතාව... කලින් කියවලා තියනවා....

    ReplyDelete
  13. මේක සමන් එදිරිමුණි ගේ නිර්මාණයක්. තරැණයා පත්තරේ එදිරිගේ සාටරේට ලියපු.. පට්ටයි මචං.

    ReplyDelete
  14. නංගිට සෙට් වෙන කෝටිපතිය ගැන දුක්වෙන එක ඇර කරන්න දෙයක් නෑ :-(

    ReplyDelete
  15. සික්... නගාල ෆවූ..... :) හි හි.. කොහොම උනත් ඈත්ත සීන් එක නම් :)

    ReplyDelete
  16. මාත් ඕක දැකලා තිබුණා. අපූරු කතාව...

    ReplyDelete
  17. මමත් ඕක පත්තරේක කියෙව්වෙ මුලින්ම... මොනා උනත් සුපිරි කතාව...

    ReplyDelete
  18. අයියා පව් .................

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails