Saturday, July 23, 2011

දුහුළු මලක්.... | Duhulu Malak



විජය ධර්ම ශ්‍රී මහත්තය කරපු "දුහුළු මලක්" චිත්‍රපටය ලාංකීය රොමැන්තික චිත්‍රපට කලාවේ මංසලකුණක් ලකුණු කළ චිත්‍රපටයක්.  හැත්තෑ හයේ තිරගතවීම ඇරඹි "දුහුළු මලක්" ධර්ම ශ්‍රී මහත්තයගේ මුල්ම අධ්‍යක්ෂණය.  ඒ වුණත් ධර්ම ශ්‍රී මහත්තය ඒ වෙනකොටත් සිංහල සිනමාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණෙ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන්, එහි උප අධ්‍යක්ෂ විදියට කටයුතු කරපු නිසා.  විජය කුමාරතුංග , අමරසිරි කලංසූරිය වගේ එකල අංකුර කලාකරුවන් පසුව සිනමා දැවැන්තයන් බවට පත් කිරීමට ධර්ම ශ්‍රී මහත්තය ගත්ත උත්සාහයේ ප්‍රතිඵල ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ.

බුද්ධිමත් තැන්පත් විශ්ව විද්‍යාල ආචාරයවරයකුගේ තරුණ බිරිඳක් තාරුණ්‍යයෙන් පිරුණු තරුණයෙකුගේ පහස ට ලොල්වීම හා ඒ අනුසාර සිද්ධි පෙළක් මුල්වුණ දුහුළු මලක් චිත්‍රපටයේ  ඒ සමස්ත සිද්ධියට සමාජ සම්මතයට පටහැනිව දයාබර හා මානුශීය හැඟීම් මුසුකරන්නට ධර්ම ශ්‍රී මහත්තයට පුළුවන් වුණා.  සමකාලීන "දියමන්ති" වැනි චිත්‍රපටවල උළුප්පන ජවසම්පන්න හා සොඳුරු තාරුණ්‍යය වෙනුවට වෙනස් ආකාරයේ හැඟීම් හා බැඳීම්  පෙළක් "දුහුළු මලක්" චිත්‍රපටයේ පෙළගැස්වූ තිබුණා.

චිත්‍රපටය පුරාවට සරත් දසනායක මහත්තය කරපු දේවල් විශිෂ්ඨයි.  අදටත් කිසිවෙකුත් මගෙන් සරත් දසනායක මහත්තය ගැන ඇහුවොත් මේ චිත්‍රපටය මතක් කරන්න මට අමතක වෙන්නේ නෑ.   අනිත් වැදගත් කරුණ වෙන්නේ චිත්‍රපටයේ ගීත පෙළගැස්ම, පද රචනය හා ‍තෝරාගැනුමයි.  ඔහේ සින්දුවක් දාන්න ඕනාවට සින්දුවක් දාල නැ‍ටුමක් නටවන නූතන සිනමාවට "දුහුළු මලක්" චිත්‍රපටයේ ගීත පෙළගැස්ම මනා පූර්වාදර්ශයක්. 

ඉන්ද්‍රාණි පෙරේරාගේ "සීතේ දිලී" ගීතයෙන් ඇරඹෙන අසම්මත ප්‍රේම කතාව " බොඳ මීදුම් කඳු ‍රැල්ලේ" (සුජාතා අත්තනායක, අබේවර්ධන බාලසූරිය) ගීතයෙන් උච්චත්වයට පැමිණේ.  තුන්වැනුව නන්දා මාලිනියගේ "රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල" ගීතය හා අදාළ රූප රාමු පෙළ  ජවනිකාව පරිපූර්ණත්වයට පත්කරනවා.

මීට පසු ධර්ම ශ්‍රී මහත්තයගේ මට හිතෙන විදියට හොඳම චිත්‍රපටය වුනේ "ආරාධනා".  ඊට අමතරව "ගුරු ගෙදර" චිත්‍රපටයත් සාර්ථකයි කියන්න පුළුවනි. යශෝධා විමලධර්ම ජනප්‍රියවීම ඇරඹෙන්නේ එතැනින්.

අනූහතරේ ධර්ම ශ්‍රී මහත්තයා මිය යනවිට ටෙලිනාට්‍ය කිහිපයකුත් අධ්‍යක්ෂණය කර තිබුණා.

චරිත- රවින්ද්‍ර රන්දෙනිය, ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු
බොඳ මීදුම් ගී පද- ආචාර්ය අජන්තා රණසිංහ
අනෙකුත් ගී- මහාචාර්ය සුනිල් ආරියරත්න

ප.ලි.

හරි මල්ලිලා, බයිලා ඇති. මෙන්න අහන්න... වෙනස වටහාගන්න...



ජය..
වැම්පයර්

10 comments:

  1. මල්ලිලාට අහන්න කිව්වට ඔන්න මමත් ඇහුවා. බොහොම ලස්සන සිංදුවක්,, කාලෙකින් ඇහුවෙ :)

    ReplyDelete
  2. මේ සිංදුව මගේ එකතුවට මුලින්ම ආපු සිංදු වලින් එකක්...සිංදුවට වඩා විස්තරය නියමයි....

    ReplyDelete
  3. දුහුල් මලක්...

    හිරු සඳු එකවර දෙපස නැගෙ
    කළුවර ඇයි විජිතයම මගෙ....

    පද දෙකකින් මුලු චිත්‍රපටියම කොච්චර ලස්සනට කියනවද.
    දුහුල් මලක් බලන කෙනෙකු එ අනියම් සම්බන්දෙ දැවටෙන තරුණියට වැරැද්ද පටවන්නෙ නැති වෙන තරමට බොහොම සියුම්ව චරිත හසුරවලා තියනවා. හරිම ලස්සන කතාවක්. පුදුම විදියට කරුණු කාරනා ගැහැණිය වෙනුවෙන් එතනදි සකස් වෙනවා.

    ReplyDelete
  4. මේ වෙනත් තැනක දාපු කොමෙන්ටුවක්. මගේ නොදැනුවත්කමට විජය රාමනායක කියා දමා තිබ්බේ. මතක් කර දුන් ඔබට පින්.

    ---------------

    ලංකාවේ 1960 ගණන් වලදී බුරුම තානාපතිගෙ [හෝ වෙනත් ලොක්කෙකුගේ] අවුරුදු විස්සක් විතර වයස වෙනස් කමක් ඇති ප්රෝපොසල් එකකින් බැඳ ගත් [බලෙන් වගේ ලුනේ එහෙ එව්වා කරන්නේ] ලාබාල තරුණ බිරිය ලංකාවේ ප්‍රසිද්ධ ක්ලබ් එකක ගායක කොල්ලෙකු සමග අනියම් සම්බන්ධයක් කළා කියලා, එයාව තානාපති නිල කාර්යාලයක් තුල ප්‍රසිද්ධියේ මරා දමනවා. බුරුම නීතියෙන් එය හරි ලු. ඉතින් ලංකාවේ නීතියෙන් බේරෙන්නේ ඩිප්ලෝමටික් පාට් දාලා බොඩි එකයි මිනි මරුවයි හොරෙන් ම එහෙ යවලා.

    මේ කම්පනයෙන් ලු හැත්තෑ ගණන් වල විජය ධර්ම ශ්‍රී හදන්නේ මේ දුහුළු මලක් චිත්‍රපටිය.

    ඕක ගැන කතාවක් හියෙනවා විජය ධර්ම ශ්‍රී ඔය කතාව ඉවර කලේ සැමියා බිරිඳ ව ඝාතනය කරන සීන් එකෙන් ලු. ඇත්තටම උනෙත් ඕකනේ. හැබැයි ලෙස්ටර් කිව්වලු ඔහොම එපා අවසානයේ සමාදානයෙන් ඉවර කරන්න කියලා [ඔය තමයි ශ්‍රී ලාංකික චින්තනය උගත් සමාජයේ. හැම තැනම නොවේ.]. ඉතින් විජය අර සීන් එක එහෙම පිටින් ම තිබ්බට ඒක හුදු සිතිවිල්ලක් කරලා [ටෝනි නේ සැමියා] ඉවර කරන්නේ මේකේ වරදේ බාගයක් සැමියාටත් අයිතියි, සැමියා පසුතැවෙනවා අන්තිමට යාලු වෙනවා කියන තැනින්. ලස්සන අවසානයක් ඒක.

    ReplyDelete
    Replies
    1. තානාපති නිලධාරියා බොඩි එක එහෙ යැව්වේ නෑ. ඒක ඒ කාර්යාල භූමියේම ගිනි තිබ්බා මම හිතන්නේ. තානාපති කාර්යාල භුමිය සලකන්නේ ඒ රටේ දේපොලක් හැටියට නිසා අපේ පොලිසියට එකේ කිසිම බලයක් නෑ. මේ කතාව බටහිර රටවල් වලත් ප්‍රසිද්ධයි.

      Delete
  5. බොනිෆස් ප්‍රනාන්දු (රන්දෙණිය) ගේ කෙට්ටු බලන්නකෝ!

    ReplyDelete
  6. මේ චිත්‍රපටියෙ තිබුණු ගීත හුඟාක් ජනප්‍රිය වුනා..

    "සුලං කපොල්ලේ .. තැනුනු කැදැල්ලේ"
    ඒ වගේම
    නන්දා මාලිනියගේ විශිෂ්ඨ ගායනයක් වන "රන් කෙඳෙන් බැඳ" කියන ගීතයත් එන්නේ මේ චිත්‍රපටියෙ..

    ඒ ත්‍රම් ජනප්‍රිය නොවුනු ගීත්යක් තමා මිල්ටන් ගෙ "රෝමය ලෙසේ.."...කියන ගීතය ... " වෙණවයා නැලවෙමූ නීරෝ වගෙ අපී " කියන පේලිය ටිකක් කාටත් මතක ඇති..

    ReplyDelete
  7. හරී, මකුළුවා- ස්තුතියි කිව්වා..
    රවා- ඔබතුමා හරියටම හරි..
    සුජීව- පෝස්ටය පරිපූර්ණ කළාට තුති.. මම දැනගෙන හිටියෙ නෑ ඔය සිද්ධිය
    කතන්දර-ටත් හිතෙන දේවල්...
    සපතේරු උන්නැහේ- පොඩි නිවැරදි කිරීමක් කරන්නම්, සුළං කපොල්ලේ ගීතය ඔය චිත්‍රපටියෙ නෙවයි. සුළං කපොල්ලේ ලියැවුණේ 79 හෝ 80 විය යුතුයි. අනික්වා එලට හරි. ස්තුතියි... රෝමය ලෙසේ ගීතයත් ඉන්ද්‍රාණීගෙ ගීතයත් ජනප්‍රිය නොවූවා නොවේ. ඒත් අනික් ගී දෙක සුපිරි විදියට ජනප්‍රිය වීම නිසා ඒ ගීත දෙක නෑසී ගියා.. මට මතකයි ඉස්සර අපේ ගෙදර ඔය රෝමය ලෙසේ සින්දුව දානව අපේ බාප්පා..

    ReplyDelete
  8. මං නම් අවංකවම සිංහල චිත්‍රපට නරඹල තියෙන්නෙ අඩුවෙන්...

    අපුරු ගීතයක් !
    චිත්‍රපටය ගැන දැනුවත් කළාට තුති..වැම්පෝ

    ReplyDelete
  9. පෑරණි සින්හල චිත්‍රපට වල තිබ්බ ඒ අපූරු සුන්දරත්වය මම මුලින්ම දුටුවෙ ලෙස්ටර් මහත්තයගෙ චිත්‍රපට මාලවක් නෑවත පෙන්වූ අවධියක. මේ වගෙ චිත්‍රපට කොයි යුගයටත් එක සේ ගෑලපෙන්නේ , දක්ශයින් විසින් සියුම් ලෙස චරිත හසුරුවා කෑපවීමෙන් කරන ලද නිර්මාණ නිසා...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails