Tuesday, September 27, 2011

රාණී එන්කෝ නැඟී පෙම් - Yaad kiya dil ne kahaan ho tum



රාණී එන්කෝ නැඟී පෙම්.. ගීතය සිංහල ගී පොතට ඇතුළුවන්නේ නවසිය පන්සතරේ තිරගත වන බී.ඒ. ඩබ්. ජයමාන්නයන්ගේ අයිරාංගනී චිත්‍රපටය සමඟිනි. මේ පෝස්ටයේ ඇතුලත් වන්නේ ඒ මුල් ගායනයේ පිටපතයි. ගීතය ගායනාකරන්නේ මොහිදීන් බෙග් හා රුක්මණී දේවී විසිනි.



අතුරු කතා

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිංහල සිනමාවේ වැදගත් චරිතයක් වෙන්නේ ඔහු කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂක වරයා වීම හෝ එඩී. ජයමාන්නගේ සහෝදරයා වීම පමණක් නිසාවෙන් නොවේ. මුලින්ම සිංහල නවකතා ආශ්‍රයෙන් චිත්‍රපට නිපදවීම ආරම්භ කරන්නේත් පෙරේරා මහතායි. නවසිය පනස්තුනේ තිරගතවූ කැළෑහඳ චිත්‍රපටය එහි පළමුවැන්නයි.  වැරදුණු කුරුමාණම, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, අයිරාංගනී , කපටි ආරක්ශකයා වැනි චිත්‍රපට ‍රැසක නිර්මාණකරුවා වන්නේ ජයමාන්න මහතායි.

අනෙක් අතට...

බී. ඒ. ඩබ්. පෙරේරා මහතා නිපැයූ  චිත්‍රපට වල දක්නට ලැබෙන දුර්වලතාවය නම් ඒවා තත්‍ය ලෝකයෙන් මදක් බැහැර වූ නිර්මාණ වීමයි. බොහෝ විට ව්‍යාකරණානුකූල පොතේ බස චිත්‍රපටයට යොදාගැනුන හෙයින් අද රසවින්දනයට බොහෝ චිත්‍රපට නොගැලපේ යන්න මගේ හැඟීමයි.  දකුණු ඉන්දීය චිත්‍රාගාර, දකුණු ඉන්දීය කලා අධ්‍යක්ශකවරු සිංහල සිනමාව පාලනය කළ ඒ කාලයේ බී. ඒ. ඩබ්. පෙර්රාට ස්වාධීන වීමට ඉඩ නොතිබුණා විය හැකියි. නමුත් පසුව ඔහු සිය ස්වතන්ත්‍ර නිර්මාණ පවා දකුණු ඉන්දීය ආභාශයට තැනූවේ මක් නිසාද යැයි මට නම් නොවැටහේ.

නැවත කතන්දරය


නවසිය පනස් හතරේ බී. ඒ. ඩබ්. පෙරේරාගේ අයිරාංගනී චිත්‍රපටයට මොහිදීන් බෙග්, රුක්මණී දේවි ගැයූ මේ ගීය ඊට වසරකට පෙර හේමන්ත් කුමාර් හා ලතා මංගේශ්කාර් පටීටා චිත්‍රපටයට ගැයූවක්.  දේව් ආනන්ද් හා ඌශා කිරන් රඟපෑ පටීටා චිත්‍රපටයේ සංගීතය ශංකර් ජයකිශන්. ශෛලේන්ද්‍ර රචනා කළ මේ ගීතය සතියකට වරක් වත් මගේ ප්ලේ ලිස්ට් එකේ නොවැරදීම වාදනය වන්නක්. අහල බලන්න.






ජය.. වැම්පයර්

Saturday, September 24, 2011

"කවියන්ගෙ රස හැඟුම" හින්දි කොපියක්ද? Vilbert Anthony



පැරණී සිංහල ගීත ප්‍රියකරන අයට විල්බට් ඇන්තනී කියන නම අමුතුවෙන්න විදියක් නෑ. හැත්තෑව දශකයේ මීගමුවෙන් කරළියට ආ විල්බට් ඇන්තනී අසූ ගණන් වල අග හෝ අනූ  ගණන් වල මුල දක්වා ගී ගැයුවා. ගුවන්විදුලියේ අනූව දශකයේ අග වෙනකන් විල්බට් ඇන්තනී ගේ ගීත ප්‍රචාරය වුණා.


විල්බට් ඇන්තනීගෙ එකල ජනප්‍රිය ගී අතර..

කුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනාසුනා..(මං කැමති එක)
බඹරු මත්වෙලා මලට ළංවෙලා.. ඔබට ළංව මහද මත්වෙලා.. .කඳුලු වියැලුනා.. සිනහ මතුවුනා.. අපගෙ ලොවට සතුට යා වුණා (මං කැමති දෙක)
නොමග නොයන් පුතේ.. නුඹට රටක් ඇතේ (සමහර අය හිතන් ඉන්නවා මේක අබේවර්ධන බාලසූරියගෙ කියලා.. නෑ මේ විල්බට්.. මේකෙ අනිත් වර්ශන් එකටයි  මං වැඩිය කැමති හික්ස්!)
සුදු සේල අගින් වැසු නීල නුවන්.. විහිදා මාවෙත බලනු ඉතින්..  (මං කැමති තුන)
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ..


වැනි ගීත මතකයට එනවා..


හරි නෙ දැන් ඕං කතන්දරේ.


අද උදේ පාන්දරම විල්බට් ඇන්තනීගෙ "කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා" ගීතය වින් ඈම්පයේ වාදනය වෙන්න පටන්ගත්තා.  බොහෝ දෙනා නොදන්නවා වුණාට  මේ ගීතය හින්දි අනුකාරක ගීතයක්! අර මේ නොනිමෙන දිවි ගමනේ එක වගේ තමයි!

මුලින්ම අපේ එක අහල ඉමු..!
http://www.divshare.com/download/15787293-b85






හැටතුනේ තිරගත වෙච්ච "භාරෝසා" චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් හා ලතා මංගේශ්කාර් තමයි මේ ගීතය කියන්නෙ. සංගීත අධ්‍යක්ෂණය රවි ගෙන්.  ඒ කාලෙ හැම ‍ෆිල්ම් එකකටම වගේ සින්දු ලියපු රාජේන්ද්‍ර ක්‍රිශ්ණන් තමයි  මේකෙ පද රචනෙ.  ගුරු දත් හා ආශා පරෙක් තමයි මේකෙ රඟපාන්නෙ.




පොඩි සටහනක්. චිත්‍රපටය නම් බලලා නෑ. ඒක නිසා ඒ ගැන කියන්න දෙයක් නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සටහනක් කරලා යන්න.

Thursday, September 22, 2011

පූජා.....පූජා වේවා...... | Joe Abeywickrama



දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා.....පූජා වේවා......

මහමෙර වැනි බර සිතින් උහුලනා
කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා

මව් ඇති දාටත් සෙනෙහස පුදනා
මව් නැති දාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා...... පූජා වේවා...........
ධර්මසිරි ගමගේ ගේ පූජා (1986) චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කල කේමදාසයන් සංගීතවත් කළ මේ ගීතය ජෝ අබේවික්‍රමයන් ගේ රංගන ප්‍රතිභාව මැනැවින් පිළිබිඹු කරන කැඩපතක් වැන්න.

ජෝ අබේවික්‍රම මහත්තයා.. ආයෙ හම්බෙමු.. එතකන් ඔබට සුබ ගමන්...!

Monday, September 19, 2011

එම්. කේ. රොක්සාමි - අවසන් කොටස | M. K. Roksami



ලිපි අංක එක

සිංහල සිනමා සංගීතයේ මුලින්ම ජනප්‍රියත්වයට පත්වුණ බී එස් පෙරේරා මහතා හෘදයාබාධයකින් හදිසියේ මියයන්නේ මේ අතරතුරයි.  පෙරේරා මහතා ගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයා වූ රොක්සාමිට අඩක් නිමැවූ බී එස් පෙරේරාගේ කටයුත්ත සම්පූර්ණ කිරීමට ලැබුණි.  රොක්සාමි නම් වාදකයා තුළ සැඟවසිටි සංගීත අධ්‍යක්ෂකයා කළ එලි බසින්නේ ඒ ආකාරයෙනි. එතැන් පටන් සහය සංගීත අධ්‍යක්ෂණයට යොමුවන රොක්සාමිට සම්පූර්ණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කිරීමට ලැබීමටද යන්නේ සුළු කාලයකි. ධීවරයෝ, රන්රස, සිඟිති සුරතල්, ආත්ම පූජා, චිංචිං නෝනා, සඳවට රන්තරු, ඇතුළු චිත්‍රපට හැටකට පමණ නවසිය හැටේ සිට මියෙනතුරා රොක්සාමි සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීය.

අතුරු කතාවක්....

චිංචිං නෝනා චිත්‍රපටය තිරගතවූයේ නවසිය හැත්තෑ හතේ දීය. එවසරේදීම අග භාගයේ ටොම් පචයා නම් හාස්‍යජනක චිත්‍රපටය ප්‍රදර්ශණය ඇරඹින. රටේ සමහර තැන්වල "චිං චිං නෝනා ගියා... ටොම් පචයා ආවා" ලෙසට පෝස්ටර් අලවා තිබිණි.  (මූලාශ්‍රය - අපේ තාත්තා)

නැවතත්..

මේ හැරුණුකොට රොක්සාමි ලාංකීය ද්‍රවිඩ චිත්‍රපට හතරකටද සංගීතය සපයා ඇති බැව් සුනිල් ආරියරත්නයන්ගේ වාර්තාවේ සඳහන් වේ.  එයිනුදු නොනැවති රොක්සාමි තමිල්නාඩු ද්‍රවිඩ චිත්‍රපට ගී සඳහාද සිය වයලීනය අනලස්ව වැයීය.  තවද අසූව දශකයේ මුල නැගී ආ ඒක පුද්ගල ගී ප්‍රසංග ‍රැලි වල ප්‍රබුද්ධයන්ගේ වාද්‍ය වෘන්දයන්හි ප්‍රධාන වයලීනය වාදනය කළේ රොක්සාමිය.

ගෙට ගිනි තබයි.........

අසූ තුනේ සිංහල ද්‍රවිඩ කෝලාහල සමයේදී රොක්සාමි විසින් අපහසුවෙන් ගොඩනගාගෙන තිබුණු නිවෙසට ගිණි තබා මුළුමනින්ම විනාශයට පත්කරන ලදුව, රොක්සාමිට පවුලේ අය සමඟින් අනාථ කඳවුරක ගාල් වීමට සිදුවේ. සිංහල චිත්‍රපට ක්ශේත්‍රයේ මිතුරන්ගේ දායකත්වයෙන් රොක්සාමිට නැවතත් නිවෙස පිළිසකර කරගෙන පදිංචි වීමට ලැබෙන්නේ කළබල මුළුමන්ම සමථයකට පත් කළ පසුවයි.

ජීවිතයේ අවසන් කල වෛද්‍ය උපදෙස් මත සැක්සෆෝන් වාදනය හැරළූ රොක්සාමි වරින් වර රෝගාතුර වූයේය. පිළිකා රෝගයෙන් පීඩා විඳි රොක්සාමි අසූ අටේ අවුරුද්දේ පවුලට කුඩා නිවසක් හා වාද්‍ය භාණ්ඩ කිහිපයක් පමණක් ඉතිරිකරමින් අවසන් හුස්ම හෙළීය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම වයලින් වාදකයා රොක්සාමි මාස්ටර් යැයි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගනිති.

රොක්සාමි ගී..

මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ - බෙග් මාස්ටර් චන්ඩාලි චිත්‍රපටයට රාණි පෙරේරා සමග
ජීවන විල මැද - සුජාතා අත්තනායක
සරවන බව කඳ සුරිඳුගෙ - බෙග් මාස්ටර්
නිදහස් කාහල නාදය ‍රැව්දේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
මල් කැකුළී කෝමළී මනාලී - ජෝතිපාල
හ්ර්දෙ රස මාලිගේ - සුජාතා අත්තනායක
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - බෙග් මාස්ටර්
පොඩිකාලේ අපි දෙන්නා - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
බුදු සාමිනි සිරිපා - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
සිතුම් පැතුම් පොදි ආදරේ - මිල්ටන් මල්ලවාරච්චි

ජීවන විල මැද (කරුණාසේන ජයලත්) ගීතය හැරුණු විට අන් සියළුම ගී වලට පද රචනය සැපයූයේ කරුණාරත්න අබේසේකර ය.
පහත වීඩියෝවේ රොක්සාමි ගේ රුව දැකගත හැක. වයලීනය වාදනය කරන්නේ රොක්සාමිය.

http://blogvampa.blogspot.com/2010/08/dev-lo-sepa-labantath-shelton-pera.html

සියයට අනූවක් පමණ කරුණු මතක් කරගැනුමට හා පෙළගැස්වීමට මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගාන්ධර්ව ආපදාන කෘතිය මහත්ම පි‍ටුබලයක් වීය.


ජය..
වැම්පයර්

Sunday, September 18, 2011

ඇම්. කේ. රොක්සාමි | M. K. Roksami



මව හා පියා දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් වූ එම්. කේ. රොක්සාමි, හෙවත් අප කවුරුත් හඳුනන රොක්සාමි මාස්ටර් උපත ලැබුවේ දකුණු පලාතේ ඇල්පිටීය  නගරයේය. ඔවුහු පසුව කොළඹ නගරය ස්ථිර වාසස්ථාන කොට ගත්හ. දෙමාපිය සංගීත ලෝලීත්වය හා දෙමාපිය හැකියාව කුඩා රොක්සාමි ගේ සිත සංගීතය කෙරේ බැඳ තබාගැනුමට සමත්වූහ යි යන්න මුසාවක් නොවේ. එකල තබ්ලා, ස්ර්පිනා, මැන්ඩලිනය හා වයලීනය හැසිරවූ කුඩා දෑත් පසු කලෙක සිංහල සිනමාවේ චිත්‍රපට හැටක පමණ සංගීත අධ්‍යක්ෂණයෙනුත්, තවත් පන්සියයක පමණ වාදනයෙනුත් දස්කම් දක්වාවියැයි කිසිවකු සිහිනෙනුදු නොසිතන්නට ඇත.

කුඩා රොක්සාමිගේ හැකියාව දුට පාසලේ ගුරුවරයෙකු රොක්සාමි දරුවා සංගීත පන්තියකට ඇතුලත් කිරීම සිදුකරනු ලබයි. දෛවෝපගත වෙනස ඇරඹෙන්නේ එතැනිනි. රොක්සාමි ගේ කුසලතා හා දරිද්‍රතාව ඉහවහ ගිය පවුල් පසුබිම හඳුනාගත් සංගීත ගුරුවරු ඔහුට උදක් ම උපකාර කළහ. මෙසේ හෙයින් ඉතා සුළු කලෙකදී දකුණු ඉන්දීය සංගීතයේ කෙළ පැමිණීමට කුඩා රොක්සාමිට හැකියාව ලැබුණි.

තම කුසලතා වේදිකාව මතට ගෙනයාමට මං සොයද්දීය ඔහුට ආර්. ඒ. චන්ද්‍රසේනයන් මුණගැසෙන්නේ.  එකල මහත් ජනාදරයට පත් "දශ බල ධාරී බුදුරජු පෙරකල.. ඉපිද හිමාලේ " යන චන්ද්‍රසේනයන්ගේ ගීතයට වයලීන වාදනය කිරීමට රොක්සාමිට මං සැලසෙන්නේ එලෙසය. මෙසේ  තම කුසලතා මුල්වරට මහජන වේදිකාවක දිගහරින රොක්සාමිට එයින්ම එකල ප්‍රවීන වාද්‍ය සංගීත ශිල්පීන් මුනගැසීමේ භාග්‍යයද උදාවන්නේය. ඔහුට රාමයියා මුත්තුසාමි හෙවත් ආර් මුත්තුසාමි මුණගැසෙන්නේ එපරිද්දෙනි.

මුත්තුසාමි එකල ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම චිත්‍රපට ශබ්දාගාරය වූ කඳානේ සුන්දර සවුන්ඩ්ස් හි වාද්‍ය වෘන්දය ස්ථාපිත කිරීමෙහි නියුක්තව සිටියේය. රොක්සාමි සුන්දර සවුන්ඩ්ස් හි නිත්‍ය වාද්‍ය සාමාජිකයෙකු වන්නේ මුත්තුසාමිගේ ඇරයුම අනුවයි.  බටහිර සංගීතය තනිවම ඉගනගනිමින් විවේකය ගතකළ රොක්සාමිට බටහිර සංගීතයේ ද ප්‍රවීණයෙකු වීමට ගතවූයේ ස්වල්ප ප්‍රමාණ කාලයකි. සැක්සෆෝන් වාදනය තනිවම ඉගන ගන්නා හේ ඉන් පසු ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකු වන්නේය. පසුව එයින් ඉවත්වූ රොක්සාමි චිත්‍රපට හා ග්‍රැමෆෝන් තැටි සංගීතයට පූර්ණකාලීනව අවතීර්ණ වීය. එච්. එම්. වී. ලේබලය නොහොත් හිස් මාස්ටර්ස් වොයිස් ලේබයල යටතේ ඉදිරිපත් කෙරුණ සී.ටී. ප්‍රනාන්දු , වොලී බැස්ටියන්  ඇතුළු සමකාලීනයන්ගේ තැටි වල සංගීත සැපයීම හා සංගීත අධ්‍යක්ෂණය කෙරුණේ රොක්සාමි ගේ 'තිනි.

පහත වීඩියෝවේ වයලීනය වාදනය කරන්නේ රොක්සාමි මාස්ටර් ය.



මී ළඟට....
අවමඟුලක් රොක්සාමිට වාසනාව ගෙනෙයි..
 
ජය..
වැම්පයර්


ආශ්‍රය ග්‍රන්ථ-
ගාන්ධර්ව ආපදාන - මහාචාර්ය සුනිල් ආරියරත්න 

Thursday, September 15, 2011

අමුතු ප්‍රස්න.. | Brain teasers




මෙන්න පොඩි අමුතු තාලෙ ප්‍රස්න ටිකක්. රනිල්ගෙ ප්‍රස්නෙ වගේ නෙවයි හැබැයි. පොඩි උත්සාහ පාරක් දාන්නකො, අමාරු නෑ.  අර ගීතක අයියත් කියන්නෙ උත්සාහවන්තයාගෙ පුතා ජයගනී කියලා. මමත් අහල තියන කතාවක් තමා ඉතින් උත්සාහවන්තයා ණයගනී කියන එක.

ප්‍රස්න අංක එක-
බාස්කට් එකක බිත්තර හයක් තියනවා. මිනිස්සු හයදෙනෙක් බිත්තර ගන්නවා එක බැගින්. අන්තිමට බාස්කට් එකේ බිත්තරයක් ඉතුරුවෙනවා. ඒ කොහොමද?

ප්‍රස්න අංක දෙක-
තට්‍ටු විස්සක බිල්ඩිමක ජනේලෙන් වැටෙනවා මනුස්සයෙක්. ලොකු තුවාලයක් හෝ කම්පනයක් නෑ. ඒ කොහොමද?

ප්‍රස්න අංක තුන-
පොලිස් ඔ‍ෆිසර් කෙනෙක් දකිනවා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ වැරදිපැත්තෙ යනවා. මෙයා නීතියට වැඩකරන ඔ‍ෆිසර් කෙනෙක් උනත් මේක නොදැක්කා වගේ ඉන්නවා. ට්‍රක් ඩ්‍රයිවර් දේශපාලනේට හෝ පොලිසියට සම්බන්ධ කෙනෙක් නෙවයි. ඇයි එහෙනම් පොලිස් ඔ‍ෆිසර් නිකං බලං ඉන්නෙ?

ප්‍රස්න අංක හතර-
ව්‍යාපාරිකයෙක් ඩොලර් එකට තිරිඟු පිටි කිලෝවක් අරන් ශත දහයට ඒක (පිටි කිලෝව) විකුණනවා. මෙහෙම කරල මෙයා මිලියනයර් කෙනෙක් වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද?



ප්‍රස්න අංක පහ-
සංචාරකයෙක්ට එකපාරට නිදාගෙන ඉන්න වලහෙක් හම්බෙනවා. මෙයා කරන්නෙ දකුණු පැත්තට කිලෝමීටරයකුත් එතන ඉඳන් නැගෙනහිරට කිලෝමීටරයකුත්, ආයෙත් එතනින් උතුරට කිලෝමීටරයකුත් දුවනවා. මෙන්න බොලේ ආයෙ අර වලහා! හැබැයි වලහා ඉන්න තැනින් හෙලවිලා වත් නෑ.  වලහගෙ පාට මොකක්ද? මොකක්ද හේතුව?

ප්‍රස්න අංක හය-
පෙන්ගුයින් ලා ඇස්කිමෝලට බය නෑ, මොකද ඇස්කිමෝලා පෙන්ගුයින් දඩයම් කරන්නෙ නෑ. මොකක්ද හේතුව?



ප්‍රස්න අංක හත-
සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා වචන බාවිතා නොකර එක ළඟ දවස් තුනක් කියන්නෙ කොහොමද?

කියමු බලන්න..




පසු ලියමන-
ප්‍රස්න මගේ නෙවයි. කාලෙකට කලින් ආපු මේලයක තිබුන ටිකකින් මතකෙට ආපු ටික. මතකෙට ආවෙ පොඩ්ඩක් කල්පනා කරල උත්තර හොයාගනිපු ටික නිසා. යම් තරමක තාර්කික උත්තර තියෙනවා හැම ප්‍රස්නෙටම.


ජය..
වැම්පයර්

Tuesday, September 6, 2011

නන්දා මාලිනී.. | Nanda Malini - The Golden Era



අසූව දශකය නන්දා මාලිනිය ගේ සංගීත දිවියේ උච්චස්ථානය සනි‍ටුහන් වූ දශකය ලෙස නම් කිරීම උචිත යැයි හඟිමි. කප් සුවහස් කල්, යාත්‍රා, යුගයෙන් යුගයේ, හේමන්තයේදී, පවන, සත්‍යයේ ගීතය කැසට් පට මෙයට මොනවට සාධක සපයන්නාහුය. මහැදුරු සුනිල් ආරියරත්නයන් පබැඳූ ගී වලින් සමන්විතවූ මෙ සමූහය අදටත් ඇසීමට ප්‍රිය උපදවන්නා සේම එදා ජනිතකල හැඟීම් සමුදාය නැවතත් එලෙසින්ම ඇතිකරලීමට සමත්වෙයි. එනමුදු පසුව මහැදුරු ආරියරත්නයන් ගේ රචනා විලාශය, හා ඇමිණූ පද නන්දා මාලිනියගේ හඬේ  පූර්ණ පෞරුශත්වය ඔප්නැංවීමට අපොහොසත් වූ වග මාගේ විශ්වාසයයි. මෙයට හේතුව නන්දා මාලිනියගේ ලයාන්විත හඬ, ප්‍රේමණීය හෝ සරල ගීත වලට මිස, ආණ්ඩු ආණ්ඩුමට්‍ටු කිරීමට තරම් සුදුසු මට්ටමේ නොතිබීමයි*. ඒ කෙසේවෙතත්, නන්දා මාලිනිය අකාලික තාරකාවක් කළ සුනිල් ආරියරත්නයන්ට මා ගරුකරමි. 
මින් අනතුරුව නන්දා මාලිනිය අනූව දශකයේ නැවතත් කැසට් පට කිහිපයක් සමග පැමිණෙන්නීය.   සංඛ පද්ම, සාරි පොඩිත්තක්, අඬ හැරය (සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ), මහගිරි අරණ වැනි කැසට් පට උදාහරණ වේ.  එකල ආරියරත්නයන් හැරුණුකොට,  ධර්මසිරි ගමගේ ශූරීන්, අරිසෙන් අහුබුදු ශූරීන්, මඩවල ඇස් රත්නායකයන්, අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීනයන් හා උදය මානවසිංහ, ටනුජ් අනවරත්න වැනි  අංකුර (එකල) පදරචකයන්ගේ ද නිර්මාණ වලට නන්දා හඬ මුසුවිණ. නන්දා මාලිනිය ගේ චිත්‍රපට ගී අතර, දුහුළු මලක් චිත්‍රපටයට ගැයූ රන්කෙන්දෙන් බැඳ, ආරියරත්නයන්ගේ වජිරා චිත්‍රපටයට ගැයුන "දෙනෝදාහක් නුවන් අතරේ" (කුලරත්න ආරියවංශ), වසන්ත ඔබේසේකරයන්ගේ දියමන්ති චිත්‍රපටයට ගැයූ " යොවුන් වසන්තයේ",ආරියරත්නයන්ගේ සිරිබෝ අයියා ට ගැයුණ "සිරිබෝ කවි",  මෙන්ම "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයට ගැයූ පිනි දියෙන්, බහුබූතයෝ චිත්‍රපටයට ගැයූ "කොන්ක්‍රීට් වනන්තරේ" යනාදී ගී කැපී පෙනේ.  
අනූව දශකය අවසන් වන්නේ නන්දා මාලිනිය ටෙලි නාට්‍ය තේමා ගී ගායිකාවක් ලෙස ජනප්‍රිය වීමත් සමගයි.  අග පිපි මල් ටෙලිනාට්‍යයට ගැයූ අහස ගුගුරා, අඹු දරුවෝ ටෙලියට ගැයූ (සුනිල් එදිරිසිංහයන් සමග) "ඉපනැලිද ලඟයි", අවසඳ ටෙලියට  අමරදේවයන් සමග  ගැයූ "හිරු දැවී, සඳු ගිලී", රාහුබද්ධ මහත්මියගෙ ඉටිපහන් ටෙලියට ධම්මිකා වල්පොල සමග ගැයූ "ඉටි පහනක් දෝ මා" හා සුවඳ කැකුළු ටෙලිනාට්‍යයට ගැයූ "කැලේ පිපෙන මල්.. අපේ මිදුලෙ පිපෙන මල්" (ලක්ශ්මන් විජේසේකර සමග) උදාහරණ ලෙස දැක්වීම ප්‍රමාණවත් යැයි සිතමි.

පොඩ්ඩක් අහල බලන්න...

ඔරිජිනල් වීඩියෝ එක නැත..  :( වජිරා චිත්‍රපටය


දියමන්ති-1975-වසන්ත ඔබේසේකර


යුගයෙන් යුගයේ කැසට් පටය -1980


ප.ලි.
*මගේ මතය, මගේ බ්ලොගය! ඔබේ මතය, කොමෙන්‍ටු! ..නෑසෙන ගී පමණක් උළුප්පා දැක්වීමට සැලකිලිමත් වූයෙමි..

වැරදි ඇත්නම් නිවැරදි කරත්වා..
කට්ටිය කිව්වනේ කලින් වගේ ලියන්නේ නෑ කියලා.  ප්‍රධාන හේතුව වැඩ, හා ලොකුම හේතුව කම්මැලිකම.

LinkWithin

Related Posts with Thumbnails