Tuesday, September 6, 2011

නන්දා මාලිනී.. | Nanda Malini - The Golden Era



අසූව දශකය නන්දා මාලිනිය ගේ සංගීත දිවියේ උච්චස්ථානය සනි‍ටුහන් වූ දශකය ලෙස නම් කිරීම උචිත යැයි හඟිමි. කප් සුවහස් කල්, යාත්‍රා, යුගයෙන් යුගයේ, හේමන්තයේදී, පවන, සත්‍යයේ ගීතය කැසට් පට මෙයට මොනවට සාධක සපයන්නාහුය. මහැදුරු සුනිල් ආරියරත්නයන් පබැඳූ ගී වලින් සමන්විතවූ මෙ සමූහය අදටත් ඇසීමට ප්‍රිය උපදවන්නා සේම එදා ජනිතකල හැඟීම් සමුදාය නැවතත් එලෙසින්ම ඇතිකරලීමට සමත්වෙයි. එනමුදු පසුව මහැදුරු ආරියරත්නයන් ගේ රචනා විලාශය, හා ඇමිණූ පද නන්දා මාලිනියගේ හඬේ  පූර්ණ පෞරුශත්වය ඔප්නැංවීමට අපොහොසත් වූ වග මාගේ විශ්වාසයයි. මෙයට හේතුව නන්දා මාලිනියගේ ලයාන්විත හඬ, ප්‍රේමණීය හෝ සරල ගීත වලට මිස, ආණ්ඩු ආණ්ඩුමට්‍ටු කිරීමට තරම් සුදුසු මට්ටමේ නොතිබීමයි*. ඒ කෙසේවෙතත්, නන්දා මාලිනිය අකාලික තාරකාවක් කළ සුනිල් ආරියරත්නයන්ට මා ගරුකරමි. 
මින් අනතුරුව නන්දා මාලිනිය අනූව දශකයේ නැවතත් කැසට් පට කිහිපයක් සමග පැමිණෙන්නීය.   සංඛ පද්ම, සාරි පොඩිත්තක්, අඬ හැරය (සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ), මහගිරි අරණ වැනි කැසට් පට උදාහරණ වේ.  එකල ආරියරත්නයන් හැරුණුකොට,  ධර්මසිරි ගමගේ ශූරීන්, අරිසෙන් අහුබුදු ශූරීන්, මඩවල ඇස් රත්නායකයන්, අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීනයන් හා උදය මානවසිංහ, ටනුජ් අනවරත්න වැනි  අංකුර (එකල) පදරචකයන්ගේ ද නිර්මාණ වලට නන්දා හඬ මුසුවිණ. නන්දා මාලිනිය ගේ චිත්‍රපට ගී අතර, දුහුළු මලක් චිත්‍රපටයට ගැයූ රන්කෙන්දෙන් බැඳ, ආරියරත්නයන්ගේ වජිරා චිත්‍රපටයට ගැයුන "දෙනෝදාහක් නුවන් අතරේ" (කුලරත්න ආරියවංශ), වසන්ත ඔබේසේකරයන්ගේ දියමන්ති චිත්‍රපටයට ගැයූ " යොවුන් වසන්තයේ",ආරියරත්නයන්ගේ සිරිබෝ අයියා ට ගැයුණ "සිරිබෝ කවි",  මෙන්ම "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයට ගැයූ පිනි දියෙන්, බහුබූතයෝ චිත්‍රපටයට ගැයූ "කොන්ක්‍රීට් වනන්තරේ" යනාදී ගී කැපී පෙනේ.  
අනූව දශකය අවසන් වන්නේ නන්දා මාලිනිය ටෙලි නාට්‍ය තේමා ගී ගායිකාවක් ලෙස ජනප්‍රිය වීමත් සමගයි.  අග පිපි මල් ටෙලිනාට්‍යයට ගැයූ අහස ගුගුරා, අඹු දරුවෝ ටෙලියට ගැයූ (සුනිල් එදිරිසිංහයන් සමග) "ඉපනැලිද ලඟයි", අවසඳ ටෙලියට  අමරදේවයන් සමග  ගැයූ "හිරු දැවී, සඳු ගිලී", රාහුබද්ධ මහත්මියගෙ ඉටිපහන් ටෙලියට ධම්මිකා වල්පොල සමග ගැයූ "ඉටි පහනක් දෝ මා" හා සුවඳ කැකුළු ටෙලිනාට්‍යයට ගැයූ "කැලේ පිපෙන මල්.. අපේ මිදුලෙ පිපෙන මල්" (ලක්ශ්මන් විජේසේකර සමග) උදාහරණ ලෙස දැක්වීම ප්‍රමාණවත් යැයි සිතමි.

පොඩ්ඩක් අහල බලන්න...

ඔරිජිනල් වීඩියෝ එක නැත..  :( වජිරා චිත්‍රපටය


දියමන්ති-1975-වසන්ත ඔබේසේකර


යුගයෙන් යුගයේ කැසට් පටය -1980


ප.ලි.
*මගේ මතය, මගේ බ්ලොගය! ඔබේ මතය, කොමෙන්‍ටු! ..නෑසෙන ගී පමණක් උළුප්පා දැක්වීමට සැලකිලිමත් වූයෙමි..

වැරදි ඇත්නම් නිවැරදි කරත්වා..
කට්ටිය කිව්වනේ කලින් වගේ ලියන්නේ නෑ කියලා.  ප්‍රධාන හේතුව වැඩ, හා ලොකුම හේතුව කම්මැලිකම.

16 comments:

  1. ලස්සන ලිපියක් සහෝ..

    ReplyDelete
  2. කවදත් වගෙ එබිලා බැලුවා. සින්දුවක් ඇහැව්වා. යොවුන් වසන්තෙ.. දැනුන ගිතයක්. අනිත් දෙක අහලා නැහැ. ටික දවසකින් දැනෙන්න ගනි. එතනක් ජය. වැම්ප්ට

    ReplyDelete
  3. තව මේවගේ කියන්න ගොඩක් අය ඉන්නව අද අපේ පුංචි දරුවෝ අඳුනන්නෙ නැති. අපි දරුවන්ට බැනල වැඩක් නෑ හොඳ ගීත අහන්නෙ නෑ කියල. උන්ට ඒව අහන්න සලස්සල දෙන්න ඔන. ගොඩක් ස්තුතියි වැඩේට.

    ReplyDelete
  4. සඳහන් නොකළ ගී ලිස්ට් එක දිග හරින්නම්. වග විස්තර නම් අමතකයි මචෝ.

    - මගේ සිහිනය
    - හිරු බිහිරියි
    - තරු ද නිදන මහ රෑ
    - රුක් ඇත්තන මල මුදුනේ
    - හදවිල කළඹන
    - සැන්දෑ කළුවර කුර ගගා විත්
    - සරුංගලේ
    - පෙරදා
    - කුරුටු ගෑ ගී පොතේ
    - රුවල් ඉරී ගිය නෞකාවේ
    - මගේ සඳ ඔබ
    - ප්‍රේමය නම් [මේක නන්දාගේ සමාජ දර්ශනයට කොන්ට්‍රඩික්ටරියක්]
    - සඳ එලිය ගඟක් වී
    ...

    ලිස්ට් එක නම් හරි දිගයි. වෙනත් අයත් මෙහි ඇවිත් එය පුරවාවී කියා සිතමි.

    නන්දා සංගීත ආරන්‍යයක්. මං ඒ ගී අරණේ ඇවිදින්න කැමති ඇස් පියාගෙන.

    දේශපාලන සින්දු ගැන ඔබේ මතයට එකඟයි. ඒ කාලේ නම් මට ඕක තේරුනේ නැහැ පිස්සුවෙන් වගේ පවන ඇහුවේ. ඒත් නන්දා ඒ විප්ලවයේ හඬ නොවේ. කලබලකාරී තුරුණු කැරැල්ලකට වඩා මුහුකුරා ගිය තැන්පත් කටහඬක්.

    මං ඉහත ලිස්ට් එකට දැම්මේ ඒ හඬේ ගැඹුරට අනුගත වන පවනේ වූ එකම ගීතයක් පමණි.

    ඉස්සර මං මේ ලෝකේ සිහියක් නැතුව නන්දාගේ ගීත අහන තරමට අපේ අම්මා ජෙලස් වී, ඇයට වඩා මේ ගායිකාවට මා ආදරේදැයි අහන ගානට මගේ නන්දාගේ ගීත පිස්සුව ඇදිලා ගියා.

    මේක දැකපු ගමන අතීතයේ මතක ප්‍රවාහයක් සුනාමියක් වගේ ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. හිතේ ගලන රූප පෙළක්. අඩුම ගානේ ජීවිතයෙන් දශකයක්.

    ReplyDelete
  5. කලින් අමතක වුනු එහෙත් කීයටවත් හලන්න බැරි නන්දාගේ කටහඬ උපරිමයෙන් භාවිතා වෙන ගී දෙකක්.

    - වාසනාව ඇගේ නෙතයි
    - පිපුණු මලේ රුව

    ReplyDelete
  6. කියල වැඩක් නැහැ . දෙනෝදාහක් නුවන් අතරේ ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .

    ReplyDelete
  7. සිංහල ගායිකාවන් අතරින් මා නැවත නැවත සවන් දෙන එකම ගායිකාව නන්දා මාලිනී. ගැඹුරත් ලාලිත්‍යයත් අපූරුවට මුසු වුණු කටහඬක්. දෙනෝදාහක් නුවන් අතරේ කියන්නෙ මගෙත් ප්‍රියතම ගීතයක්.

    සුජීවගෙ ලිස්ට් එකට තව ටිකක් එකතු කරන්නම්. :-)

    -මගේ නෙත් ඇයි මෙසේ
    -වැස්සකට ඉඩ ඇතත්
    -කඩමණ්ඩියේ
    -මුළු නුවරම
    -නෙලා ගන්න බෑ
    -අම්මාවරුනේ
    -රන්වන් කරල් සැලෙයි
    -ඔසරිපොටින් අදින්නෙපා

    ReplyDelete
  8. මමත් කැමති ගායිකාවක්... කා ගාව හරි පවනේ ගීත ටික තියේද

    ReplyDelete
  9. අද විකාරයක් වුනත් එදා නන්දා ගේ දේශපාලන ගී අපිට හරි ලොකුයි . මන් කිව්වේ කවියකට සිංදුවකට ලෝකේ අනික් පැත්ත හරවන්න හැකියි කියල හිතපු කාලේ .

    ReplyDelete
  10. මම අහල තියෙන නන්දා මලනිගේ හොදමටෙලි නාට්‍ය ගිතය තමයි ගජමන් නෝනා නට්‍යයට ගායනය කළ
    ජිවිතේ කවියක්
    ආදරේ සොදුරැතම වදනක්
    කදුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක්වු විට දැනුනෙ
    පෙර නොවිදි රසයක්

    ReplyDelete
  11. තව සින්දුවක් මට මතක් උනා ඒ රන්මුතුදුව චිතපටියට ගායනා කළ
    - ගලන ගගකි ජිවිතේ දයාලු ලොකයේ
    ඒක තමයි නන්දා මලනියගේ පළවෙනි චිතපට ගායනය වගේම අමරදේවයන්ගෙ පලවැනි විතපට සංගිත සැපයිමත්.

    ReplyDelete
  12. [[ගලන ගඟකි ජීවිතේ]]

    පත්තරවල ගිය නන්දාගේ ජීවිත කතාව අනුව;

    පාසලේ ගායනා තරංග වලින් තේරිච්ච පුංචි [ගොඩක් දුප්පත්] අංකුර ගායිකාව චිත්‍රාගාරයේ මයික් එකේ උස වැඩි නිසා පකිස් පෙට්ටියක් උඩ හිටගෙන රෙකෝඩ් කල ගීයක්. මේ සින්දුවේ රේකොඩින් කරනකම් ඇය ලඟපාත ජෑම් ගහක නැගගෙන ජෑම් ගෙඩි කමින් ලු උන්නේ.

    පත්තර වල තිබුන කතාවක් නිසා තාර බර ඇරලා ගන්න.

    ReplyDelete
  13. ඒ වගේම තව දෙයක්. දහනමයෙන් විවාපත් වූ මේ ගායිකාව, තමන් සම්මාන පිට සම්මාන දිනු අතිශයින් ප්‍රේමනීය වූ ගීත ගයන්නේ, දිනපතා සැමියාගේ ගුටි බැට අවමන් ලබමින් ලු [ඒක පාර්ශ්වීය කතාවක් නිසා හරියටම දන්නේ නැහැ] දික්කසාද වන තුරු.

    නන්දාගේ පුද්ගලික අත්දැකීම මැනවින් ම කියවෙන ගීය "මගේ සඳ ඔබ":

    "එදා මට ඔබ සරා සඳ විය
    කවි ඇසින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ එකලු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ..."

    "මෙදා මට ඔබ සැබෑ සඳ මයි
    විදු ඇසින් දුටු ලොවය විසකුරු
    ප්‍රානයෙන් තොර වියලි සඳ සේ
    ඔබ ද අද මා අසල ගැවසේ..."

    ReplyDelete
  14. [[කවියකට සිංදුවකට ලෝකය අනික් පැත්ත හරවන්න පුළුවන් කිව්ව කාලේ]]

    දවල් රෑ නැතුව ජීවිත තර්ජනත් නොතකා පවන ඇහුවා.

    අම්මලා බයේ උන්නේ. අපේ වයස මදි ටයර් සෑයකට කොලිෆයි වෙන්න. එකයි අද පණපිටින් ඉන්නේ.

    වෙන එකක් තියා නන්දාත් ටික දවසකට වහන් වෙලා හිටියා නාඳුනන තුවක්කු කරුවන්ට වැඩ අඩු කර දෙන්න.

    ReplyDelete
  15. Very informative article Brother...
    -from Tokyo

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails