Wednesday, June 22, 2011

නාමේ නොදිරනා - ඒ.එම්.යූ. රාජ්

 
නාමෙ නොදිරනා.. කුණු කය දිරනා .. අරුමෙකි සෝබා සංසාරේ...
හැත්තෑව, අසූව දශක වල අතිශයින්ම ජනප්‍රිය වුන ගීතයක මුල් පද කිහිපය තමයි ඔය.  දැනටත් අර "කැත නැතුව අහන්න" පුලුවන් ලිස්ට් එකේ තියෙන එකක් මගේ නම්.  මේ ලඟදි අපේ මාරයියා පොඩි ඉල්ලීමක් දැම්මා "මලේ.. ඒ එම් යූ රාජ් මහත්තයගෙ සින්දු ටිකකුත් දාහං" කියලා.  මම කීපයක් බස් එකේ දැම්මා.  හුදී ජනතාවගේ රසාස්වාදය තකා බ්ලොග් එකෙත් දාන්නයි කියලා බැලුවේ. කමක් නෑනෙ.
හැටේ දශකයෙ වගේ ඉඳල අනූව දශකයේ මැද වෙනකම් ලංකාවේ "බොදු බැති ගී" එහෙම නැත්නම් "බුදු ගුණ ගී"  සෑහෙන්න බිහිවුණා.  මේකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා.  ඒ තමයි මේ බුදුගුණ ගී වැඩ්පුරම ගායනා කරපු ගායකයන් ගෙන් මුලින්ම සිටින ගායකයන් තිදෙනෙක්ම අන්‍යාගමිකයන් වීම!  දන්න කට්ටිය අත් උස්සන්න බලන්න?
පලවෙනියා නම් හරිම ලේසියි.. බෙග් මාස්ටර්... නැත්නම් අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා.  දෙවැන්නා ඒ.එම්.යූ. රාජ් නැත්නම් උඩයප්පන් රාජා.  තුන්වැන්නා ඒ. ජේ. කරීම්. 
රාජ් මහත්තයා දෙමළ ජාතිකයෙක්.  හින්දු ආගමිකයෙක්.  නාමෙ නොදිරනා, උතුම් බුදුන් ත්‍රයිලෝනාවී බුද්ධාලෝකේ පෑවා, දේවාති දේවරාජා, ඉසිපතනේ මිගදායේ, පුෂ්ප පිපී ලක්ශණ වේ මන්ද මාරුතේ හමා, තිලොවග රාජා බව සැරි සරලා වගේ බොහොම ජනප්‍රියවුන ගීත ‍රැසක හිමිකරුවා මෙතුමායි.  ජීවිතයේ අවසාන කාලයේ සිහි විකල්වීමකට ලක්වූ රාජ් මහතා මිය ගියේ බොහොම අසරණ විදියට. මේ කලාකරුවාගේ ගීත වලට අයිතිකරුවෙක් නැහැ.   රිමික්ස්, බයිලා නන්ස්ටොප් වලට මේ ගී පදවැල් බොහෝ විට භාවිතා වෙනවා දකින්න පුළුවනි (නාමෙ නොදිරනා, පුෂ්ප පිපී, ගුණ දහම හොඳ නරක කණපිටට පෙරළුනා  ගීත උදාහරණ). 

ගීත අහනකොට හිතෙන්න පුලුවනි, මේ මනුස්සය සින්දු කියනවද එහෙම නැත්නං කෑගහනවද කියලා. ඒකට හේතුවක් තියනවා, මොකද රාජ් මහත්තය මුලින් නූර්ති ගායකයෙක් (නූර්ති වල මයික් නෑ), ඒ විදියට තමයි ඉතින් දිගටම ගිහින් තියෙන්නෙ. පසුව ග්‍රැමෆෝන් යුගයේ එච්.එම්.වී. තැටි කිහිපයකට ගීත ගායනා කලා. පහලින් තියෙන්නේ අසූව දශකයේ මුල පටිගත කළ ගී කිහිපයක්. කැමති නම් බාගෙන අහල බලන්න. මේ ගීත ඔබේ පුද්ගලික ප්‍රයෝජනයට පමණක්, කිසිදු වෙනස් කිරීමකින් තොරව බාවිතා කරන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරන්න කැමතියි.



http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/NameNodirana.wma
http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/Guna_Dahama.wma

http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/loka_naatha_mage.wma

http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/namami_siripaa.wma
http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/Pushpa_pipi.wma
http://dl.dropbox.com/u/9040688/AMU_RAJ/uthum_budun.wma

Wednesday, June 8, 2011

මගේ නංගී... රචනාවක්..




මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි.  ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ.  නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය.  ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය.  නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය.  තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී.  ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය.  ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත.  ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය.  බැරිවෙලාවත් ඇයට හැක‍රැල්ලෙකුගේ මෙන් කකුල් තිබුණානම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි.  අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත.  දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය.  නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි.  ඒ ශේවින් ක්‍රීම්ය.  මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා ‍රැවුල කපාගන්නෙමු.

නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය.  අද කාලේ බේබිලා කොච්චර ලොකුදැයි මට අවසානයේ කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. 

අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි.  මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනෑම උලව්වක් ඇය මුහුණේ උලයි.  කිටියා වඩාත්ම කැමති අගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි.

දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත. " කෝ අම්මෙ පිපිඤ්ඤා?" "නංගිගෙන් ඉල්ලගන්න" කාරණාව තේරුනේ එවිටය.  බත් එක බෙදාගෙන දෙහි, රතුළූනු, අමුමිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.

නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි.  සැලුනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි.  අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි.  කොණ්ඩය බ්ලීච් කරයි. තොල් රිකන්ඩිශන් කරයි.  නංගිගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය.  සැලුනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.


නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනෙක පුවත්පත් වල පලකිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.

"රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ, මෝඩ, බයාදු, විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණවූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කම්නැත.  විහිළුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි, මීට අයියා...."


කතෘ නොදනිමි- උපුටා ගැනුමකි.


Image URL
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTTQ3brHQRwRLuvTob-PG3USJ8shnw0yn2DX88-xQoVV9XccL8Z

LinkWithin

Related Posts with Thumbnails